October 14, 2026

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වීම සඳහා ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය එම පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රතික්ෂේප කර තිබේ.

තමන් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම පක්ෂ නායකවරයා විසින් ප්‍රතික්ෂේප කළ බවට තමා වෙත දැනුම් දුන් බව අශෝක් අබේසිංහ පවසා ඇත.

කෙසේ වෙතත්, පක්ෂය තනිවම මැතිවරණයකට තරග කළහොත් ජයග්‍රහණය කළ නොහැකි බව සිය ස්ථාවරය බවත්, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්විය යුතු බව සිය යෝජනාව බවත් ඔහු ජනමාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා ඇත.

හිටපු මන්ත්‍රීවරයා පසුගිය සඳුදා පක්ෂයේ සංවිධායක ධුරයෙන්, සමගි සේවක සංගමයේ සභාපති ධුරයෙන් සහ විපක්ෂ නායකවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව නිවේදනය කළේය.