October 14, 2026

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව තමාගේ පෞද්ගලික මිතුරකු බවත්, එහෙත් එම මිත්‍රත්වය හේතුවෙන් එම භික්ෂුව නීතියට ඉහළින් නොසිටින බවත් අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත පවසා තිබේ.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ලාල්කාන්ත පවසා ඇත්තේ, රජය විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරමින් හිතාමතාම කටයුතු කරන බවට හෝ බුදු දහම විනාශ කිරීමට උත්සාහ කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

“ඥානසාර හාමුදුරුවො මගෙත් යාළුවෙක්. නමුත් මේ රටේ නීතියක් තියෙනවා. අපි ඒ නීති හැදුවෙත් නැහැ, උන්වහන්සේ මේ තත්ත්වයට පත්වුණෙත් අප නිසා නෙවෙයි,” ‍යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඥානසාර භ්ක්ෂුව මීට පෙරද පෙර පැවැති රජයන් යටතේ සිරගත කර තිබූ බව පෙන්වා දුන් ඔහු, එම භික්ෂුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් පළමු අවස්ථාව මෙය නොවන බවද අවධාරණය කර තිබේ.

ඥානසාර භික්ෂුවගේ වත්මන් තත්ත්වය ඇතැම් විපක්ෂ කණ්ඩායම් විසින් දේශපාලන අරමුණු සඳහා අවභාවිත කරන බවට චෝදනා කළ අමාත්‍යවරයා, එම භික්ෂුව මීට පෙරද විවිධ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් නිතර භාවිත කර ඇති බවද ප්‍රකාශ කර ඇත.

වර්තමානයේ සිරගතව සිටින අනෙකුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මෙවැනි කනස්සල්ලක් මතු නොකළේ මන්දැයි ඔහු ප්‍රශ්න කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක දැනටමත් මහා සංඝරත්නය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත්, නීතිමය ප්‍රතිසංස්කරණ සඳහා රජය සූදානම් බවත් අමාත්‍යවරයා පවසා ඇත.

සිවුරේ ගෞරවයට හානි වන අයුරින් භික්ෂූන් වහන්සේලා දඬුවම් ලැබීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව විරුද්ධ බව ද පැවසූ අමාත්‍යවරයා නීතිය කඩකරන පුද්ගලයන් නිසි දඬුවම් ලැබිය යුතු වුව ද සිවුර දඬුවමට ලක් නොවිය යුතු බව අවධාරණය කර ඇත.

පවතින නීතිමය රාමුවේ යම් වෙනසක් සිදුකළ යුත්තේ තනි පුද්ගල නඩුවලට වෙනස් නීති යෙදීමෙන් නොව, නිසි සාකච්ඡා මාර්ගයෙන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.