May 14, 2026

අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) මඟින් සොයනු ලබන සෙනෙට් මන්ත්‍රීවරයෙකු රැකවරණය පතා සෙනට් මණ්ඩල ගොඩනැඟිල්ල තුළ රැඳී සිටීම හමුවේ එම ගොඩනැගිල්ල වෙත හමුදා නිලධාරීන් ඇතුළුවීමත් සමඟ පිලිපීන‍යේ සෙනෙට් මණ්ඩල ගොඩනැගිල්ල වසා දමා ඇත.

එහිදී වෙඩි හඬවල් කිහිපයක්ම ඇසුණු බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇති නමුත් වෙඩි තැබුවේ කවුරුන්ද යන්න නිලධාරීන් මෙතෙක් හෙළි කර නොමැත.

කෙසේවෙතත් සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ඔවුහු පැවසූහ.

සෙනෙට් මන්ත්‍රී රොනල්ඩ් ඩෙලා රෝසා මීට පෙර කියා සිටියේ තමා අත්අඩංගුවට ගැනීම නියත වශයෙන්ම සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බවත්, එය වළක්වන ලෙස පිලිපීන ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.

ඔහු ආරක්ෂිතව සහ ආරක්ෂක නිලධාරීන් සමඟ පසුවන බව නිලධාරීන් පැවසීය.

හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ට්ගේ මත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුම්වලදී පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කරමින් පුද්ගලයන් දස දහස් ගණනක් ඝාතනය කළ බවට ඔහුට අන්තර්ජාතික අපරාධ අධිකරණය මඟින් චෝදනා එල්ල කර ඇත.

එම මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි සැකකෙරෙන දහස් ගණනක් වෙඩි තබා ඝාතනය කෙරුණු බව වාර්තා වේ.

ඩුටර්ට් 2025 මාර්තු මාසයේ සිට හේග් නුවර රඳවා තබා ගෙන සිටී.

ඊයේ පස්වරුවේ මැනිලා නුවර පිහිටි සෙනෙට් ගොඩනැඟිල්ලට පොලිස් විශේෂ බලකා නිලධාරීන් ඇතුළු වන ආකාරයත්, පලිහ සහ හෙල්මට් පැළඳි කැරලි මර්දන පොලිසිය එම කලාපය වටලමින් සිටින ආකාරයත් රූපවාහිනී දර්ශන මඟින් විකාශය කර තිබේ.

සෙනෙට් මණ්ඩලයෙන් පිටත සිටි විරෝධතාකරුවන් ඩෙලා රෝසාව රඳවා තබා ගන්නා ලෙස ඉල්ලා සිටි අතර, ඩුටර්ට් සමඟ නඩු විභාගයට මුහුණ දීම සඳහා ඔහුව පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියහ.

කෙසේවෙතත් ඔහුගේ නීතිඥයින් ඔහුව පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

වෙඩි තැබීමෙන් පසුව සෙනෙට් ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, සෙනෙට් මන්ත්‍රීවරුන් එහි ඇතුළත රැඳී සිටි බව වාර්තා වේ.

ඩෙලා රෝසාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බව රජය ප්‍රතික්ෂේප කරන අතර, වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව තවමත් විමර්ශනය කරන බව පවසයි.

ස්වදේශ කටයුතු ලේකම් ජොන්වික් රෙමුල්ලා පැවසුවේ සෙනෙට් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ජනාධිපතිවරයා තදින්ම උපදෙස් දී ඇති බවයි.

ඩෙලා රෝසා ආරක්ෂිතව ආරක්ෂක නිලධාරීන් සමඟ සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.