August 6, 2026

විදේශීය ජනමාධ්‍ය ආයතන නියෝජනය කරමින් පාකිස්ථානය තුළ වාර්තාකරණයේ නිරත වන ජනමාධ්‍යවේදීන් සඳහා එරට බලධාරීන් විසින් අලුතින් සීමා පනවා තිබේ.

ජනමාධ්‍ය සංවිධානවල දැඩි විවේචනයට ලක්ව ඇති මෙම පියවර, විදේශීය ජනමාධ්‍ය අඩපණ කිරීමේ ප්‍රයත්නයක් ලෙස හඳුන්වා දී ඇත.

නව රෙගුලාසිවලට අනුව, විදේශීය ජනමාධ්‍ය ආයතන සඳහා සේවය කරන පකිස්ථානු ජාතිකයන් ඇතුළු සියලුම ජනමාධ්‍යවේදීන් ඉස්ලාමාබාද්, කරච්චි සහ ලාහෝර් යන ප්‍රධාන නගර තුන හැර පාකිස්ථානයේ වෙනත් ඕනෑම ප්‍රදේශයක සිට වාර්තාකරණයේ නිරත වීමට පෙර බලධාරීන්ගෙන් පූර්ව අවසර ලබාගත යුතුය.

ලෝක ජනමාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180 ක් අතුරින් 153 වන ස්ථානයේ පසුවන පාකිස්ථානය තුළ මෙවැනි සීමා පැනවීම මගින්, එරට වැඩි ප්‍රදේශයක සිදුවන සිදුවීම් පිළිබඳව විදේශීය ජනමාධ්‍ය මගින් ක්ෂේත්‍රයේ සිට සිදුකරන වාර්තාකරණය සම්පූර්ණයෙන්ම පාහේ රජයේ බලධාරීන්ගේ අභිමතය සහ වේලාව මත තීරණය වනු ඇත.

“මෙම මාර්ගෝපදේශ මගින් සිදුවන්නේ දැනටමත් ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින ජනමාධ්‍ය නිදහස තවදුරටත් සීමා කරමින් විදේශීය මාධ්‍ය හුස්ම හිරකර තැබීමයි,” යනුවෙන් දේශපාලන විචාරක මුස්තාෆා නවාස් කොකාර් පවසයි.

පාකිස්ථානය තුළ ජනමාධ්‍ය වෙත සීමා පැනවීම අලුත් දෙයක් නොවන නමුත්, විදේශීය ජනමාධ්‍ය ආයතනවලට වඩා දේශීය මාධ්‍ය වෙත නිරන්තරයෙන් දැඩි බලපෑම් එල්ල වේ. “ජනතාව ස්වාධීන පුවත් දැනගැනීම සඳහා විදේශීය මාධ්‍ය දෙස බලනවා,” ‍යනුවෙන් ද පවසන කොකාර්, මෙවැනි සීමා පැනවීම මගින් අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත් ප්‍රචාරය වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වන බවද පෙන්වා දෙයි.

කෙසේවෙතත්, පාකිස්ථාන රජය ප්‍රකාශ කරන්නේ ඉකුත් ඉරිදා දින නිකුත් කරන ලද මෙම මාර්ගෝපදේශවල අරමුණ ජනමාධ්‍ය සීමා කිරීම නොව, ජනමාධ්‍යවේදීන් තහවුරු කරගැනීම, පහසුකම් සැලසීම සහ වාර්තාකරණ අවශ්‍යතා සම්බන්ධීකරණය සඳහා වූ “පරිපාලන යාන්ත්‍රණයක්” සපයා දීම බවයි.