July 19, 2026

පිළියන්දල, වීරසිංහ මාවත ප්‍රදේශයේදී අද (19) සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු පරීක්ෂා කිරීමට යාමේදී, ඔවුන් පොලිස් පරීක්ෂාවට ලක්වීම මඟහැරීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

මත්ද්‍රව්‍ය වැටළීමක් අතරතුර අද උදෑසන මෙම සිදුවීම සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

පොලිසිය පවසන පරිදි, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු නවත්වා පරීක්ෂා කිරීමට නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේදී, එහි සිටි එක් සැකකරුවකු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇත.

එහිදී පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදියේ ගමන් කළ අනෙක් පුද්ගලයා එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.