June 29, 2026

භික්ෂූන් වහ­න්සේ­ලාට භික්ෂු හැඳු­නු­ම්පත නිකුත් කිරී­මේදී උන්වහ­න්සේ­ලාට එරෙ­හිව පව­තින අධි­ක­රණ කට­යුතු සම්බ­න්ධ­යෙන් කිසිදු අව­ධා­න­යක් යොමුනොක­රන බව අනා­ව­ර­ණය වේ.

2016 අංක 12 දරන තොර­තුරු දැන­ගැ­නීමේ අයි­ති­වා­සි­කම පිළි­බඳ පනත යටතේ යොමුකළ තොර­තුරු ඉල්ලී­ම­කට ප්‍රති­චාර දක්ව­මින් බෞද්ධ කට­යුතු පිළි­බඳ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරන්නේ භික්ෂූන් වහ­න්සේ­ලාට එරෙ­හිව අධි­ක­රණ කට­යුතු තිබේද යන්න සඳ­හන් කිරී­මට අදාළ හැඳු­නු­ම්පත් ආකෘ­තියේ ස්ථාන­යක් නැති බවයි.

කෙසේවෙතත් මේ හැඳු­නු­ම්පත් නිකුත් කිරී­මට අදාළ භික්ෂූන් වහන්සේ වැඩ සිටින විහා­ර­ස්ථා­නයේ ආචාර්ය ස්වාමීන් වහ­න්සේගේ හෝ විහා­රා­ධි­පති ස්වාමීන් වහ­න්සේගේ අත්සන සහ නිල මුද්‍රාව, මේ විහා­ර­ස්ථා­නය පිහිටි පළාතේ පළාත් ප්‍රධාන සංඝ නායක ස්වාමීන් වහ­න්සේගේ අත්සන සහ නිල මුද්‍රාව, විහා­ර­ස්ථා­නය පිහිටි වසමේ ග්‍රාම නිල­ධා­රි­ව­ර­යාගේ සහ­ති­කය යන ලිය­කි­ය­විලි අවශ්‍ය බවත්, මේ සහ­තික පරීක්ෂා කිරී­මෙන් පසු බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා විසින් අදාළ භික්ෂු හැඳු­නු­ම්පත නිකුත් කරන බවත් එම ප්‍රති­චා­රයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වේ.

2022 වස­රේදී මෙවැනි භික්ෂු හැඳු­නු­ම්පත් 152ක් නිකුත් කර ඇත. 2023 වස­රේදී හැඳු­නු­ම්පත් 103ක්, 2024 වස­රේදී හැඳු­නු­ම්පත් 149ක්, 2025 වස­රේදී හැඳු­නු­ම්පත් 85ක් සහ 2026 වස­රේදී හැඳු­නු­ම්පත් 30ක් ලෙස ආසන්න වර්ෂ­ව­ලදී භික්ෂු හැඳු­නු­ම්පත් ඉදි­රි­පත් කර ඇති බවද එම තොර­තුරු ඉල්ලී­මට ලබා­දුන් ප්‍රති­චා­රයේ දැක්වේ.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා භික්ෂූන් වහන්සේ 39,993ක් සහ සිල්මාතාවෝ 3,865ක් වැඩවාසය කරති.

භික්ෂූන් වහ­න්සේ­ලාට එරෙ­හිව අධි­ක­ර­ණය ඉදි­රියේ පව­තින නඩු සහ මත්ද්‍රව්‍ය, අප­චාර ඇතුළු බර­ප­තළ චෝදනා සම්බ­න්ධ­යෙන් පසු­ගිය කාලයේ පුළුල් සංවා­ද­යක් ඇති වූ අතර, එහිදී මේ භික්ෂු හැඳු­නු­ම්පත් නිකුත් කිරීමේ ක්‍රම­වේ­ද­යද ප්‍රශ්න කිරී­මට ලක්විය.

(උපුටාගැනීම – සිළුමිණ)