June 5, 2023

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි ඖෂධවල මිල ගණන් ලබන ජුනි 15 වනදා සිට 16% ක අඩුවීමක් සිදුවනු ඇතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යෑම සැළකිල්ලට ගනිමින්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලනය මගින් නියාමනය කරනු ලබන ඖෂධවල මිල ගණන් මෙලෙස පහළ දැමීමට නියමිත බවයි.

“15/06/2023 සිට, ඩොලරයට සාපේක්ෂව රුපියලේ දිරිගන්වනසුලු ඉහළ යෑම සැළකිල්ලට ගෙන, මිල පාලනයකින් නියාමනය කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල 16% ක මිල අඩුවීමක් සිදුවනු ඇත. අදාළ බලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි මෙය තීරණය කර ඇත්තේ.” යැයි එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.