January 20, 2024

සේවක ණය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගෙවන පොලියෙන් තුනෙන් දෙකක් පාරිභෝගික ගාස්තුවලින් අයකර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ සේවකයන්ට එලෙස ලබාදී ඇති මූල්‍ය පහසුකම රුපියල් බිලියන 12කට ආසන්න බවයි.

තම ඉල්ලීම මත ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය අංශය මගින් ලබාදුන් දත්තවලට අනුව, රජය සතු මෙම ආයතනය විසින් රුපියල් බිලියන 12කට ආසන්න මුදලක් තම සේවකයන්ට ලබාදෙන මුල්‍ය පහසුකම් සඳහා වැය කර ඇති බව ඇමැතිවරයා සඳහන් කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සේවකයන්ට ගෙවන පොලිය පාරිභෝගික ගාස්තු මගින් අය කරගන්නා බවට හෙළිදරව් කරමින් ඇමැතිවරයා සඳහන් කළේ එම මුදල් පාරිභෝගිකයන්ගෙන් වෙනුවට ණය ප්‍රතිලාභීන්ගෙන් අයකරගන්නා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙස මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවයි.

“ණය ප්‍රතිලාභීන්ගෙන් ණය සහ පොලී මුදල් අයකර ගැනීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙසත් එය විදුලි පාරිභෝගිකයන් වෙත ලබා නොදෙන ලෙසත් මම ලංවිම කළමනාකාරිත්වයට උපදෙස් දුන්නා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.

මේ අතර, කාර්යක්‍ෂමතාව ඉහළ නංවන අතරම පිරිවැය අඩුකිරීමේ අරමුණින් අනාගතයේදී බාහිරින් ලබාදිය හැකි ඕනෑම සේවාවක් පිළිබඳ වාර්තා කරන ලෙස ද ඇමැතිවරයා ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කර ඇත.