March 27, 2025

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක්නොකළ යුතුව තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ශිරාණි බණ්ඩාරනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එරෙහි ලබාදුන් ඇතැම් නීතිමය තීන්දුවලින් පසුව ඇයට එරෙහිව දූෂණ චෝදනා එල්ල විය.

පාර්ලිමේන්තු කමිටුවක නිර්දේශ මත දෝෂාභියෝගයකට ලක්කිරීමෙන් පසු 2013 ජනවාරි මාසයේදී ඇය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරන ලදී.

කෙසේවෙතත් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියාසිටියේ එවැනි ක්‍රියාමාර්ගයක් එම අවස්ථාවේ සිදු නොකළ යුතුව තිබූ බවයි.

”වත්මන් ආණ්ඩුව අප කළ වැරදි නැවත සිදුනොකළ යුතුයි. ඔවුන් එය නැවත කරනවා නම් එය නිවැරදි නැහැ. අපේ පක්ෂය තවමත් එවැනි තීරණවලට වන්දි ගෙවනවා.” යනුවෙන් ඔහු පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදි වැඩිදුරටත් කියාසිටියේ දේශපාලන තීන්දු ගැනීම සඳහා පුද්ගලයකු ඉලක්ක කර පාර්ලිමේන්තුව යොදාගන්නේ නම් තම පක්ෂය සහාය නොදෙන බවයි.

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කරන ලෙසට ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.