August 6, 2026

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෝස්ටුවක් ‘සීමා කිරීම’ (restricting) සම්බන්ධයෙන් මෙටා (Meta) සමාගමේ ඉහළ පෙළේ විධායක නිලධාරියකු බදාදා දිනයේදී තම සමාගම වෙනුවෙන් ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛෂ්ණව්ගෙන් සමාව අයැද සිටියේය.

“අගමැති මෝදිගේ පෝස්ටුව සීමාකිරීමට සිදු වූ දෝෂය සම්බන්ධයෙන් මා මෙටා සමාගම වෙනුවෙන් අමාත්‍යවරයාගෙන් සමාව අයැද සිටියා,” යැයි මෙටා හි ගෝලීය කටයුතු පිළිබඳ ප්‍රධාන නිලධාරී ජොයෙල් කැප්ලාන් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

ජොයෙල් කැප්ලාන් ඇතුළු මෙටා සමාගමේ ඉහළ පෙළේ විධායක නිලධාරීන් කණ්ඩායමක්, ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් එස්. ක්‍රිෂ්ණන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී විනාඩි 45 ක පමණ කාලයක් සාකච්ඡාවක ද නිරතව ඇත.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් භාවිතා කරන මිලියන සංඛ්‍යාත ජනතාවක් සිටින ඉන්දියාව, පරිශීලකයන් සංඛ්‍යාව අනුව මෙටා සමාගමේ විශාලතම වෙළඳපොළ වේ.

අගමැති මෝදි සෘජුවම කැමරාව දෙස බලමින් අදහස් දක්වන මෙම වීඩියෝව ජූලි 23 වැනි දින අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන ‘කොක්‍රෝච් ජනතා පක්ෂය’ (මෙහෙයවූ විරෝධතාවල උපරිම අවස්ථාවේදී සමාජ මාධ්‍ය වෙත එක්කර තිබිණි.

එම වීඩියෝව මෙටා සමාගමට අයත් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වලින් තාවකාලිකව ඉවත්කර තිබූ අතර පසුව නැවත යථාතත්ත්වයට පත්කරන ලදී.

මෙම සිදුවීමට හේතුව තාක්ෂණික දෝෂයක් බව පවසමින් මෙටා සමගම මෙලෙස සමාව අයැද සිටියේය.

කෙසේවෙතත්, ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය එම පැහැදිලි කිරීම ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කළේය. අදාළ අන්තර්ගතය ඉවත් වී ඇත්තේ වැරදීමකින් බවත් එය නැවත පද්ධතියට එක් කළ බවත් සමාගම පැවසීය.

සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ප්‍රධානී, භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශිකාන්ත් දුබේ පැවසුවේ මෙම සිදුවීමට මෙටා සමාගම වගකිව යුතු බවයි.

“අගමැතිවරයාගේ වීඩියෝව ඉවත් කිරීම මාධ්‍ය මැදිහත්කරුවෙකුගේ කාර්යයක් නෙවෙයි, එය ප්‍රකාශකයෙකුගේ (publisher) කාර්යයක්,” යැයි පැවසූ දුබේ, “සකර්බර්ග් දින තුනක් ඇතුළත සමාව ගත යුතුයි” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියාවේ පාර්ලිමේන්තු ස්ථාවර කාරක සභාවලට රජයේ ප්‍රතිපත්ති පරීක්ෂා කිරීමටත්, ප්‍රශ්න කිරීම් සඳහා රාජ්‍ය නිලධාරීන් සහ සමාගම්වල විධායක නිලධාරීන් කැඳවීමටත් බලය ඇත.

කෙසේවෙතත්, දඬුවම් පැනවීමට, නීතිමය ආරක්ෂාවන් අහෝසි කිරීමට හෝ නඩු පැවරීම් සඳහා නියෝග කිරීමට එම කාරක සභාවලට තනිවම බලයක් නොමැත.

ඕනෑම සබැඳි ප්ලැට්ෆෝමයකට එරෙහිව යම් නීතිමය පියවරක් ගන්නේ නම් එය පවතින නීතිය යටතේ රජය හෝ අධිකරණය විසින් සිදුකළ යුතුව ඇත.