November 17, 2026

හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට අයත් ‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ ජනමාධ්‍යවේදීන් හා සේවකයන් මුහුණ දී සිටින අසාධාරණ රැකියා අහිමි කිරීම් සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය සංවිධාන එකමුුවක් විසින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

2026 නොවැම්බර් 16 වැනි දින නිකුත් කර ඇති මෙම ලිපිය මඟින්, ‘සිලෝන් නිව්ස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්’ ආයතනයට අයත් ‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ පුවත්පත්වල සේවය කළ ජනමාධ්‍යවේදීන් සහ ඇතුළු සේවක මණ්ඩලය බරපතල අසාධාරණකම් රැසකට මුහුණ දී ඇති බව පෙන්වා දී ඇත.

ප්‍රධාන ගැටලු ලෙස ඉදිරිපත් කර ඇති කරුණු:

– වැටුප් සහ අයිතිවාසිකම් අහිමි කිරීම, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව සේවකයන්ගේ මාස කිහිපයක වැටුප්, සේවක අර්ථසාධක අරමුදල් (EPF/ETF), සේවක පාරිතෝෂික මුදල් මෙන්ම රැකියා අහිමි කිරීම් සිදු කර ඇති බව සඳහන් වේ.

– ආයතනයට ඇතුළුවීම වැළැක්වීම: රැකියා අහිමි කරන ලද සේවකයන්ට තමන් සේවය කළ ආයතන පරිශ්‍රයට ඇතුළු වීම පවා පාලනාධිකාරිය විසින් බලහත්කාරයෙන් අවහිර කර ඇති බවට චෝදනා කර ඇත.

– දැනුම් දීමකින් තොරව සේවය අවසන් කිරීම: කම්කරු දෙපාර්තමේන්තුවට හෝ කිසිදු බලධාරියෙකුට පූර්ව දැනුම් දීමකින් තොරව මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලිපියේ සඳහන් වේ.

රටේ නීතිය හා කම්කරු අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කරමින් සිදු කර ඇති මෙම අසාධාරණකම් හේතුවෙන් සේවකයන් සහ ඔවුන්ගේ පවුල් දැඩි අසීරුතාවකට පත්ව ඇති බැවින්, මීට මැදිහත් වී කඩිනම් පියවරක් ගන්නා ලෙසත්, මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු ප්‍රධාන ජනමාධ්‍ය සංවිධාන කිහිපයක නියෝජිතයෝ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිති.