November 17, 2026

ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය නාමයක් වන විශාරද ගුණදාස කපුගේ විසින් තනු නිර්මාණය කර ගායනා කරන ලද සුප්‍රකට ගීත 20ක්, අවසරයකින් තොරව ගැයීම සහ වෙනත් පාර්ශ්ව වෙත ලබාදීම වැළැක්වීම අරමුණු කරගනිමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් පාලිත බණ්ඩාර නොහොත් පාලි බාග්‍රා යන අයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නඩුව පවරනු ලැබ ඇත්තේ දිවංගත කපුගේගේ භාර්යාව වන ප්‍රේමා කපුගේ සහ ඔහුගේ පුත් මිත්‍ර කපුගේ යන දෙදෙනා විසිනි.

මෙහිදී අධිකරණයේ අවධානයට ලක් වූ ගීත නාමාවලිය පහත දැක්වේ.

සීතල සඳ එළියේ

දොඹ මල් කැලෑවේ

අහස උසට

බිම්බරක් සෙනඟ

නින්ද නැති රැයේ

අභිසාරිකාවන්ගේ

දෑස නිලපුල් තෙමා

සිංහල සිංදු කියන

අයියණ්ඩියේ

විදුලි මිනි පහන්

මං මුලාවී පාර සොයාගෙන

දම් පියාවී

දවසක් පැල

සිටු කුමාරියේ

සඳ හැංගි හැංගි

කවුරුත් එන්නැති

බිංදු බිංදු තාරකා

මගේ සඳ මඩල

ඔබ පෙම් කරනා ඔබේ කුමාරි

රුවක් ඇදෙනවා

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සදුන් සේනාධිපති (නීතිඥ ඉසුරු අබේවික්‍රමගේ උපදෙස් මත) අධිකරණය හමුවේ කරුණු දක්වමින්, බුද්ධිමය දේපළ හිමිකම යනු කිසිදු පාර්ශ්වයකට ඒකපාර්ශ්විකව උල්ලංඝනය කළ නොහැකි අයිතියක් බව අවධාරණය කළේය. පාලි බාග්‍රා විසින් කිසිදු විධිමත් අනුමැතියකින් හෝ ලිඛිත අවසරයකින් තොරව මෙම ගීත තමන්ගේ නිර්මාණ සේ ගායනා කරමින් බුද්ධිමය දේපළ පනත බරපතල ලෙස කඩකර ඇති බව එහිදී පෙන්වාදෙන ලදී.

ඉදිරිපත් වූ සියලු කරුණු සහ සාක්ෂි සලකා බැලූ වාණිජ මහාධිකරණය, වගඋත්තරකාර පාලි බාග්‍රාට අදාළ ගීත ගැයීම සහ පැමිණිලිකරුවන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව වෙනත් පාර්ශ්ව වෙත ඒවා බෙදාහැරීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නියෝග කළේය.

මෙම නඩුව යළිත් ලබන නොවැම්බර් 27 වැනි දින කැඳවීමට අධිකරණය නියෝග කර ඇත.