November 17, 2026

2027 අයවැයට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයකු අත්අඩංගුවට ගෙන ඇත්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රශ්න කරයි.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, ඕනෑම වරදක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පූර්ණ, අපක්ෂපාතී සහ විනිවිදභාවයකින් යුත් විමර්ශනයක් කිසිවකු ප්‍රශ්න නොකරන නමුත් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ කාලවකවානුව ‘අතිශය කැපීපෙනෙන’ බවයි.

“අයවැය පිළිබඳව වෘත්තීය සමිති සිය අප්‍රසාදය පළ කරමින් සහ අසාධාරණකම්වලට එරෙහිව සංවිධානය වෙමින් සිටින මොහොතක, විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය හුදෙක් අහම්බයක්ද, නැතහොත් විරුද්ධ මත අධෛර්යමත් කිරීමට සහ වර්ධනය වන වෘත්තීය සමිති ව්‍යාපාරය මැඩපැවැත්වීමට රජය දරන උත්සාහයක්ද?” යනුවෙන් ඔහු විමසා සිටියි.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය තුළ පවතින උත්ප්‍රාසාත්මක බව දැඩිව විවේචනය කර ඇති නාමල් රාජපක්ෂ, පැවැති ආණ්ඩුවලට එරෙහිව වසර ගණනාවක් පුරා විරෝධතා, වැඩවර්ජන සහ වෘත්තීය සමිති අරගලවල පෙරමුණ ගත් දේශපාලන ව්‍යාපාරයක්, අද තමන්ට එරෙහිව එවැනිම හඬක් නැගෙන විට නොසන්සුන් වී ඇති බව සඳහන් කරයි.

“විපක්ෂයේ සිටින විට විරෝධතා දැක්වීමේ අයිතිය වෙනුවෙන් පෙනීසිටීම පහසුයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ පරීක්ෂණය වන්නේ බලයට පත් වූ පසුත් එම අයිතියටම ගරු කරනවාද යන්නයි” යනුවෙන් පවසන ඔහු, විරුද්ධ මතධාරීන් බියගැන්වීමට හෝ නිහඬ කිරීමට ‘වගවීම’ කිසිවිටෙකත් කඩතුරාවක් කර නොගත යුතු බවද වැඩිදුරටත් අවධාරණය කරයි.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු සහ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ආනන්ද පාලිත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2015 – 2019 කාලසීමාව තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ බව කියන රුපියල් මිලියන 3.11ක (රු. 3,111,000) සේවක අතිකාල දීමනා වංචාවකට අදාළ විමර්ශන සම්බන්ධයෙනි.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිමෙන් පසු, ඔහුගෙන් ප්‍රශ්න කර වැඩිදුර විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.