November 17, 2026

ඉන්දියන් සාගරයේ ඉන්දුනීසියාවට අයත් බණ්ඩා මුහුදු ප්‍රදේශයේ අද (17) අලුයම ඇති වූ රික්ටර් මාපක 6.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි බලපෑමක් නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

අද අලුයම 2.41 ට පමණ සිදුව ඇති මෙම භූමිකම්පාව කිලෝමීටර 20 ක් ගැඹුරින්, දකුණු අක්ෂාංශ 6.16° සහ නැගෙනහිර දේශාංශ 131.5° ප්‍රදේශයේ හටගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සහ අන්තර්ජාතික ආයතන සමඟ සිදු කළ නිරීක්ෂණවලින් අනතුරුව නිකුත් කළ විශේෂ නිවේදනය මගින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ, දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවයි.

ඒ අනුව, වෙරළ ආශ්‍රිතව වෙසෙන ජනතාවට මේ පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් සාමාන්‍ය කටයුතුවල නිරත විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.