November 17, 2026

කහවත්ත මූලික රෝහලේ ඉවතලන ද්‍රව්‍ය ගබඩා කර වසා දමා තිබූ පැරණි ගොඩනැගිල්ලක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.

අලුයම 3.45ට පමණ හටගත් මෙම ගින්න පැයක පමණ කාලයක් පුරා පැතිර ගොස් ඇති අතර, එය මැඩපැවැත්වීම සඳහා රත්නපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ද කැඳවීමට පියවර ගෙන තිබිණි.

මෙම ගොඩනැගිල්ල මීට පෙර නේවාසික රෝගීන්ගේ වාට්ටුවක් ලෙස භාවිත කර ඇති අතර, නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් පසු රෝගීන් මාරු කර අදාළ පැරණි ගොඩනැගිල්ල ඉවතලන ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා යොදාගෙන ඇති බව වාර්තා වේ.

ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් ඉන් කිසිදු පුද්ගලයකුට තුවාල සිදුවී නොමැති බවත් පොලීසිය තහවුරු කරයි.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇතැයි සැක පළ කෙරෙන අතර, ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.