July 18, 2026

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවීම සඳහා පත්කරන ලද ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් මතු ව ඇති ‘බැඳියාවන් අතර ගැටුම’ (Conflict of Interest) පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම කරුණු පැහැදිලි කර තිබේ.

ජනමාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් රොෂාන් මහානාම පැහැදිලි කළේ, තමන් ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයකු ලෙස දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට සම්බන්ධ වී නොමැති බවයි.

“මම ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයෙක් වෙලා ඉන්න අතරතුර මේ තනතුරේ රැඳී සිටිය හැකිද යන්න පිළිබඳව විවිධ අදහස් මතු වී තිබෙනවා. පළමුවෙන්ම, එම කමිටුවේ සාමාජිකයකු ලෙස මගේ පත්වීම තාවකාලික පදනමක් මත සිදුවූවක්. මාව පත්කළේ ඡන්දයකින් හෝ සම්මේලනයක නිල පත්වීමකින් නෙවෙයි” යැයි ඔහු පැවසීය.

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් තමන්ට පත්වීම් ලිපිය ලැබුණු අවස්ථාවේදී, තමන් දැනටමත් දඹුල්ල සික්සර්ස්, පාකිස්ථාන සුපර් ලීග් සහ ILT20 සමඟ කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයාට දැනුම්දුන් බව රොෂාන් මහානාම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“මම දඹුල්ල සික්සර්ස්, පාකිස්ථාන සුපර් ලීග් සහ ILT20 සමඟ සම්බන්ධ වෙලා ස්වාධීන තරග තීරකවරයකු සහ උපදේශකයෙකු ලෙස දැනටමත් කටයුතු කරමින් සිටින බව මගේ පිළිතුරු ලිපියෙන් මම දැනුම් දී තිබුණා” යැයි ඔහු පැවසීය.

දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමඟ ඔහුගේ භූමිකාව ආරම්භ වූයේ 2024 වසරේදී බවත්, එය වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මැදිහත්වීමට බොහෝ කලකට පෙර සිට සිදුවූවක් බවත් රොෂාන් මහානාම මෙහිදී මතක් කර දුන්නේය.