August 26, 2023

මීටර් 200 කාන්තා ඉසව්වකදී වාර්තා කළ ඉතිහාසයේ දෙවැනි හොඳම කාලය වාර්තා කරමින් ජැමෙයිකාවේ අසහාය ක්‍රීඩිකා ෂෙරීකා ජැක්සන් එම ඉසව්වේ සිය ආධිපත්‍යය රැක ගැනීමට සමත් විය.

තමන්ගේ ජයග්‍රහණය නිශ්චිත බව ආරම්භයේ පටන්ම විද්‍යාමාන කළ මේ සුපිරි ක්‍රීඩිකාව තමන්ගේ ජයග්‍රහණය නිශ්චිතවම දැන සිටියාක් මෙන් කිසිදු හැඟීම් ප්‍රකාශනයකින් තොරවම තත්ත්පර 21.41 කදී බුඩාපෙස්ට් ධාවන පථයේ සීමාව පසුකර ගියාය.

ජැක්සන් පසුකර ගියේ පසුගිය වසරේ ඉයුජින්හිදී රන් පදක්කම දිනා ගනිමින් තමන් විසින්ම තැබූ  තත්ත්පර 21.45ක ශූරතා වාර්තාවය.

1988 ඔලිම්පික් උළෙලේ සිට නොබිඳී පවතින දිවංගත ෆ්ලෝරන්ස් ග්‍රිෆිත්-ජොයිනර්ගේ 21.34 ලෝක වාර්තාවට තත්ත්පර දශම 07කින් ඇය පමා විය.

මේ වසරේ ලොව වේගවත්ම ක්‍රීඩිකාව ලෙස තත්ත්පර 21.60ක කාලයක් සමඟින් බුඩාපෙස්ට් වෙත පැමිණි ඇමෙරිකාවේ ගැබී තෝමස් 21.81 කදී තරගය නිමා කරමින් රිදී පදක්කමකින් සැනසුනාය.

සඳුදා පැවති මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඇමෙරිකාවේ ෂා කැරී රිච්ඩ්සන් එම නවවැනි මං තීරුවේදීම තත්ත්පර 21.92ක පුද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කරමින් ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය.