August 7, 2026

චීනය විසින් මෑතකදී සිදු කරන ලද බැලැස්ටික් මිසයිල පරීක්ෂණය නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වූ ආක්‍රමණයකට සමාන බවත්, මිසයිලය පතිත වූ ස්ථානයට ආසන්නතම පහත් භූමි සහිත පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ටුවාලු හි ජනතාව එමගින් සුනාමි තත්ත්වයක් ඇති වේ යැයි දැඩි බියකින් පසුවූ බවත් එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ජූලි මස මුල් සතියේ සිදු කරන ලද මෙම මිසයිල පරීක්ෂණය පිළිබඳව චීනය කිසිදු පූර්ව දැනුම්දීමක් සිදු නොකළ අතර, එය ටුවාලු රාජ්‍යයට මෙතරම් ආසන්නයෙන් පතිත වන බවද දැනුම් නොදුන් බව ටුවාලු විදේශ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන පසුනා ටුවාගා පැවසීය.

ෆීජී හි පැවැති ‘පැසිෆික් දූපත් සමුළුවේ’ අතුරු හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, බීජිං පාලනය සිදුකළ මෙම ක්‍රියාව කිසිසේත්ම පිළිගත නොහැකි බව කලාපයේ අනෙකුත් රටවල් එකහෙලා පෙන්වා දීම අතිශයින් වැදගත් වන බවයි.

“ඔබම මොහොතකට සිතා බලන්න, ඒක හරියට කවුරුහරි ඔබේ නිවසට බලහත්කාරයෙන් කඩා වැදුණා වගේ වැඩක්,” ඔහු පැවසීය. “එය සැබෑ ප්‍රහාරයක් වුණා නම් සිදුවන්නේ කුමක්ද? නිල හමුවේදී අපි සමුළුවෙන් ඇසූ ප්‍රශ්නයත් එයමයි: අපිට ඇත්තටම මිසයිලයකින් පහර දෙන තෙක් බලා සිට, පසුව ප්‍රකාශයක් නිකුත් කළ යුතුද?”

අනුකාරක යුධ ශීර්ෂ පරීක්ෂා කිරීම චීනය පැසිෆික් කලාපයට සැලකිය යුතු ආකාරය නොවන බවත්, මසකට පෙර සිදුකළ මෙම මිසයිල විදීමට එරෙහිව කලාපීය සමුළුවේ සාමාජික රටවල් 18ම එකමුතුව විරෝධය පළ කළ යුතු බවත් ටුවාගා අවධාරණය කළේය.

“කිසිදු බලවතෙකුගේ තර්ජනයට හෝ බියගැන්වීමට ලක්වීමට අපට අවශ්‍ය නැති නිසා, මේ පිළිබඳව නිල ප්‍රකාශයක් කිරීම අපට ඉතා වැදගත්,” යනුවෙන් පැවසූ ඔහු, මෙම අදහස් සිය විදේශ කටයුතු, ශ්‍රම හා වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස නොව තම පෞද්ගලික මට්ටමින් ප්‍රකාශ කළ බවද වැඩිදුරටත් සඳහන් කළේය.