July 1, 2026

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ආරක්ෂක උපකරණ මිලදී ගැනීම් වේගවත් කර ඇති අතර, ඒ යටතේ ඉන්දියාවේ ප්‍රමුඛතම ආරක්ෂක පද්ධති කිහිපයක් මිලදී ගැනීමට සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ඉන්දීය ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි.

මෙලෙස මිලදී ගැනීමට අපේක්ෂා කරන අවි ආයුධ අතර ඉන්දියාවේ සුප්‍රසිද්ධ ‘බ්‍රහ්මෝස්’ සුපර්සොනික් ක්‍රූස් මිසයිල පද්ධතිය ද වන බව වාර්තා වේ.

මීට පෙර ප්‍රසිද්ධියට පත් නොවූ මෙම සාකච්ඡා වටය තුළදී, ඉන්දියාව සතු ‘ආකාෂ්තීර්’ (Akashteer) නම් ස්වයංක්‍රීය ගුවන් ආරක්ෂණ පද්ධතිය මිලදී ගැනීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බව මේ පිළිබඳ සෘජු දැනුමක් ඇති ආරංචි මාර්ග දෙකක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

“බ්‍රහ්මෝස් සහ ආකාෂ්තීර් ඇතුළු අපගේ ආයුධ පද්ධති කිහිපයක් කෙරෙහි එක්සත් අරාබි එමීර් රාජ්‍යය උනන්දුවක් දක්වා තිබෙනවා. ඉන්දියාව සහ එමීර් රාජ්‍යය අතර සාකච්ඡා මේ වන විට මූලික මට්ටමේ පවතින අතර ඒවා ඉතා වේගයෙන් ඉදිරියට ඇදෙමින් පවතිනවා” යනුවෙන් එම මූලාශ්‍ර පවසා ඇතැයි සඳහන්.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ඉන්දීය බලධාරීන් මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ද ප්‍රතික්ෂේප කර ඇත.

ඉන්දියාව සහ රුසියාව ඒකාබද්ධව නිපදවන ලද ‘බ්‍රහ්මෝස්’ මිසයිලය ලොව වේගවත්ම ක්‍රූස් මිසයිල අතරින් එකක් වන අතර එය ගොඩබිම, මුහුද සහ ගුවන් වේදිකාවල සිට දියත් කිරීමේ හැකියාව පවතී.

එමෙන්ම ‘ආකාෂ්තීර්’ යනු ඉන්දියාවේ රජය සතු ‘භාරත් ඉලෙක්ට්‍රොනික්ස්’ සමාගම සහ ඉන්දීය යුද හමුදාව එක්ව සංවර්ධනය කරන ලද පූර්ණ ස්වයංක්‍රීය ගුවන් ආරක්ෂණ පාලන පද්ධතියකි.

මැදපෙරදිග යුද සමයේදී ඉරානයෙන් එල්ල වූ දැඩි ප්‍රහාරයන්ගෙන් පසුව, නැගී එන තර්ජනයන්ට මුහුණ දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දියාවෙන් මෙන්ම වෙනත් රටවලින් ද ආරක්ෂක උපකරණ මිලදී ගැනීමට සලකා බලමින් සිටී. එසේම සිය බලශක්ති අපනයනය සඳහා තීරණාත්මක මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කරගැනීම ද ඔවුන්ගේ මූලික අවශ්‍යතාවකි.