August 11, 2026

ඉතාලිය, ජපානය සහ එක්සත් රාජධානිය එක්ව ක්‍රියාත්මක කරන ‘Global Combat Air Programme’ (GCAP) ව්‍යාපෘතිය වෙනුවට, ප්‍රංශය ප්‍රමුඛත්වය දරන හයවන පරම්පරාවේ අතිනවීන ප්‍රහාරක ජෙට් යානා නිෂ්පාදනය කිරීමේ ‘Future Combat Air System’ (FCAS) බහුජාතික ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගැනීමට ඉන්දියාව නිල වශයෙන් කටයුතු ආරම්භ කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, අගෝස්තු මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලේඛනයක් මගින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ මෙම ව්‍යාපෘතියට එක්වීම සඳහා සංවිධානාත්මක අයුරින් පියවර ගෙන ඇති බවයි.

මෙම යෝජනාවට අනුමැතිය හිමිවුවහොත්, FCAS ව්‍යාපෘතිය හරහා ඉන්දීය ආරක්ෂක කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ නවීන තාක්ෂණයන්, මිනිසුන් සහිත සහ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන යානා එක්ව මෙහෙයවීමේ තාක්ෂණය, කෘතිම බුද්ධිය සහ ක්ලවුඩ් ජාලකරණ තාක්ෂණයන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ පිළිබඳ ඉදිරි පියවර, සැලසුම් සහ කාලරාමුව ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ඊළඟ වාරයේදී ඉදිරිපත් කරන ලෙස ඉන්දීය පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාව විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

මෙම තීරණය ගනු ලැබුවේ, FCAS ව්‍යාපෘතියේ වැඩබෙදීයාම, බුද්ධිමය දේපළ අයිතිය සහ ප්‍රහාරක යානාවල පිරිවිතරයන් සම්බන්ධයෙන් ප්‍රංශය සහ ජර්මනිය අතර පැවැති මතභේද හේතුවෙන් පසුගිය ජූනි මාසයේදී ඇති වූ එකඟතා බිඳවැටීමෙන් අනතුරුවය. එමගින් ප්‍රංශයට නව ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් වෙත යොමුවීමට මග පෑදිණි.

දැනටමත් ප්‍රංශය සහ ඉන්දියාව අතර පවතින ආරක්ෂක සබඳතා තවදුරටත් වර්ධනය වීමට මෙම පියවර හේතු වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.