January 23, 2024

පොලිසිය සම්බන්ධ බවට චෝදනා එල්ලවන මෑත කාලීන මරණ සංඛ්‍යාව පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා ඇත.

පසුගිය සතියේ නාරම්මල ප්‍රදේශයේදී සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරියකු විසින් පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය මූලික කර ගනිමින් එම සංගමය මේ බව ප්‍රකාශ කර තිබේ.

දැනට ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම සදහා බාධාකළ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කරන බවට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් කළ ප්‍රකාශයද ලංකා නීතීඥ සංගමය විවේචනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩිදුරටත් මෙසේද පවසයි.

“රජයේ ඇමැතිවරයකු විසින් කරන ලද වගකීම් විරහිත, නොමඟ යවන සුළු ප්‍රකාශයන් හරහා මහජන අවශ්‍යතා සුරැකීම සඳහා නීතිඥයින් විසින් ඉටු කරනු ලබන කාර්යභාරයට හානියක් වන බව පැහැදිලියි. නිතිය ආරක්ෂා කිරීමට කැපවූවන් භේදකිරීම් අපි දැඩි ලෙස හෙළාදකිමු”