June 28, 2026

හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක බහුජාතික ආරක්ෂක මෙහෙයුම් සහ මැර කල්ලි මර්දන මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා සේනාංකවලට අයත් 900කට ආසන්න සෙබළුන් සහ පොලිස් නිලධාරීන් 140 දෙනෙකු අනුයුක්ත කිරීම වහාම අත්හිටුවන ලෙස අන්තර්ජාතික මානව හිමිකම් සහ වින්දිතයන්ගේ සංවිධාන 14ක් එක්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් (UN) සහ හයිටි රජයෙන් නිල වශයෙන් ඉල්ලා තිබේ.

ITJP, ශ්‍රී ලංකා කැම්පේන්, PEARL සහ බ්‍රිතාන්‍ය දමිළ සංසදය ඇතුළු සංවිධානවල අත්සනින් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයක මේ බව සඳහන් වේ.

එම සංවිධාන පෙන්වා දෙන්නේ, අදාළ මෙහෙයුම් සඳහා තෝරාගෙන ඇති නිලධාරීන් මීට පෙර කිසියම් මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට සම්බන්ධ වී ඇත්දැයි සලකා බැලීම සඳහා ස්වාධීන හෝ විශ්වසනීය පරීක්ෂණ යාන්ත්‍රණයක් දැනට ක්‍රියාත්මක නොවන බවයි.

ලංකාවේ හමුදාමය ස්වයං-සහතික කිරීම් සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ පරීක්ෂාවන් පමණක් මේ සඳහා ප්‍රමාණවත් නොවන බව ඔවුහු පවසති.

ලංකා හමුදාවේ සාමසාධක බලඇණි යෙදවීමේදී මීට පෙර පැවති එකම විශ්වසනීය පරීක්ෂණ ක්‍රමවේදය වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ඒකාබද්ධව සිදුකළ විමර්ශන පද්ධතිය 2024 වසරේදී බිඳවැටී ඇති බව සංවිධාන පෙන්වා දෙයි.

ඇමරිකානු ලෙහී පනත යටතේ දැනටමත් අවම වශයෙන් එක් අපේක්ෂකයෙකු ප්‍රතික්ෂේප වී තිබීමෙන් හමුදාව ඉදිරිපත් කළ ලේඛනවල පවතින ගැටලු සහගත බව තහවුරු වන බව ඔවුහු පවසති.

එමෙන්ම, මෙම සේනාංක යෙදවීමේ ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ වී සිටින වත්මන් ආරක්ෂක ලේකම් එච්.එස්. සම්පත් තුයියකොන්ත (යුද සමයේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඇණියේ අණදෙන නිලධාරී) සහ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා මිලිටරි උපදේශක එයාර් කොමදෝරු අසල වසන්ත ජයසේකර (MiG-27 බලඇණියේ සේවය කළ) දෙදෙනා පිළිබඳව ද ප්‍රකාශයේ සඳහන් වේ.

ඔවුන් කිසිවකු පෞද්ගලිකව මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට වගකිව යුතු බවට නිල වශයෙන් තහවුරු වී නොමැති වුවද, ආයතනික වශයෙන් ස්වාධීන ඇගයීමකට ලක්විය යුතු භූමිකාවන් දැරූ නිලධාරීන් අනෙක් අයගේ පරීක්ෂණ සහතික කිරීම හෝ අධීක්ෂණය නොකළ යුතු බවට එම ප්‍රකාශය තර්ක කරයි.

මීට අමතරව, 2004 සහ 2007 කාලසීමාව තුළ හයිටියේ ස්ථානගත කර සිටි ශ්‍රී ලංකා සාම සාධක බලඇණිවල නිලධාරීන් 134 දෙනෙකු එරට කුඩා ළමුන් ලිංගික උපයෝජනයට ලක්කිරීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට එල්ල වූ පැරණි එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තා ද මෙම ප්‍රකාශයෙන් නැවත මතක් කර දී ඇත.

එබැවින් මෙම නිවේදනය මඟින් එක්සත් ජාතීන්ගේ පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින්නේ, ස්වාධීන පරීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන තෙක් මෙම හමුදා යෙදවීම් වහාම අත්හිටුවන ලෙසත්, හයිටියට යවන සියලුම නිලධාරීන්ගේ නම් සහ ඡායාරූප යැවීමට පෙර ප්‍රසිද්ධ කරන ලෙසත්ය.