August 12, 2026

අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් වළකින ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටිති.

2026 ජූලි 31 දිනැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇති ලිපියක් මගින් උන්වහන්සේලා මේ බව සඳහන් කරති.

මෙම ලිපිය මේ වන විට සමගි ජන බලවේගය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත.

එම ලිපියේ මහා නාහිමිවරුන් විසින් පෙන්වා දෙනු ලබන ප්‍රධාන කරුණු මෙසේය:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 වේ. මෙම වයස් සීමාව ඉහළ නැංවීමට මේ අවස්ථාවේ කටයුතු කිරීම සුදුසු නොවන අතර, එමගින් අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇතිවිය හැකිය.

මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ පද්ධතියේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නාර්ථයක් ඇති කරන අතර, අනාගතයේදී අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට හේතු විය හැක. මේ පිළිබඳව අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, නීති විශාරදයින්, සිවිල් සංවිධාන සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද විරෝධය පළකර තිබේ.

නොපැනවූ නීති පැනවීම තුළින් සමාජ නොසන්සුන්තාවයක් සහ රාජ්‍ය ස්ථාවරත්වය පිළිබඳ සෘණාත්මක බලපෑමක් ඇති විය හැකිය. දැනට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන ප්‍රසාදයට සහ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට මෙමගින් හානි සිදුවිය හැක.

එබැවින්, අධිකරණ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් නැංවිය හැකි මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමෙන් වළකින ලෙසත් මහා නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

මෙම ලිපිය සඳහා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන්, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා නාහිමියන්, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති අභිධාන මහා නාහිමියන් සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහා නාහිමියන් යන ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අත්සන් තබා ඇත.