June 11, 2024

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් සිසුන් 1337 දෙනකු බඳවාගෙන ඇති අතර, 2018 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා සිසුන් 828 දෙනෙකු වෙත එම උපාධිය ප්‍රදානය කර තිබේ.

ඊට අදාළව ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නිකුත් කර ඇති නිවේදනයේ පහත කරුණු සඳහන් වේ.

ත්‍රිවිධ හමුදාවන් සදහා වාර්ෂිකව අවශ්‍ය වන වෛද්‍ය කෙඩෙට් නිළධාරී සංඛ්‍යාව බඳවා ගැනීමෙන් පසුව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි ඉතිරිව පවතින අවස්ථාවන් සහ සම්පත් ඵලදායි ලෙස යොදා නොගතහොත්, වෛද්‍ය පිඨයේ සහ විශ්වවිද්‍යාලීය රෝහලේ මුල්‍ය ආයෝජන, යටිතල පහසුකම් සහ මානව සම්පත් වෛද්‍ය වෘත්තිකයන්ගේ දැඩි හිඟයකට මෙරට මුහුණපා සිටින අවස්ථාවක අපතේ යැවිමක් වේ.

ඉහත කරුණු යටතේ 2024 අප්‍රේල් මස 08 වන දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදි සහ ශල්‍ය වෛද්‍යවේදි උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණය ගනු ලැබිණි.

දේශීය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙළ) විභාග සුදුසුකම් හෝ කේම්බ්‍රිජ්, එඩෙක්සෙල් වැනි අනුරුප විදේශ විභාග සුදුසුකම් සහිත අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවීමේ දැන්වීම 2024 අප්‍රේල් මස 19 වන දින විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියෙහි සහ 2024 අප්‍රේල් මස 21 වන දින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ජාතික පුවත්පත්වල පළකරන ලදි.

මෙම දැන්වීම මගින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් සහ අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය ආදිය දැනුම් දෙන ලදී.

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වනවිට අයදුම්පත් 956ක් ලැබී තිබූ අතර අදාල අයදුම්කරුවන්ගේ නාම ලේඛණය, ඔවුන්ගේ Z ලකුණු හෝ විදේශ විභාග ප්‍රතිඵල සමඟ විශ්වවිද්‍යාල වෙබ් අඩවියෙහි පළකරන ලදි.

ඉහත සඳහන් කරන ලද අයදුම්පත්, විශ්වවිද්‍යාලයීය සිසුන් බඳවා ගැනීමේ කමිටුව මගින් විමර්ශනයට ලක් කිරිමෙන් අනතුරුව මූලික සුදුසුකම සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් 856 ක් අතුරින් අයදුම්කරුවන් 242 ක් අභියෝගතා පරීක්‍ෂණය සඳහා තෝරගන්නා ලදී.

එම අභියෝගතා පරීක්ෂණය 2024 මැයි මස 14 වන දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

එම අභියෝගතා පරීක්‍ෂණය සඳහා, මුලු අපේක්ෂකයන් 203ක් දේශීය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙළ) විභාග සුදුසුකම් සහිත අපේක්ෂකයන් 183ක් සහ විදේශ විභාග සුදුසුකම් සහිත අපේක්ෂකයන් 20ක් වශයෙන් සම්පුර්ණ අපේක්ෂකයන් 203ක් ඉදිරිපත් විය.

එම අපේක්ෂකයන් 2024 මැයි මස 20, 21 සහ 22 යන දිනවල පැවති සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවූ අතර, දේශීය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස්පෙළ) විභාග සුදුසුකම් සහිත අපේක්ෂකයන් 158ක් සහ විදේශ විභාග සුදුසුකම් සහිත අපේක්ශකයන් 20ක් එම සම්මුඛ පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් විය.

උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා තෝරාගනු ලැබු අයදුම්කරුවන්ගේ විස්තර ද උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා තෝරාගත් සිසුන් ලියාපදිංචි කරන අවස්ථාවේදි විශ්වවිද්‍යාලය සමඟ එළඹෙන සියලුම කොන්දේසි අඩංගු ගිවිසුම විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියෙහි ප්‍රසිද්ධ කර ඇත.

ඒ අනුව සිසුන් තෝරාගැනීමේ ක්‍රියාවලියෙහි විවෘතභාවය, විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම මගින් සිසුන් තෝරා ගැනීමේදී අක්‍රමිකතා සිදුවීම වැලැක්වීම සහ යහපාලනයේ මූලධර්ම අනුගමනය කිරිම ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය මගින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මෙමගින් පැහැදිලි වේ.