August 5, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ දහස් සංඛ්‍යාත ජනතාවගේ සංවේගයට හේතු වූ, තම අතීත පෙම්වතිය දැකීමේ අවසන් ආශාවෙන් පසුවූ ගයාන් මුණසිංහ මහරගම අපේක්ෂා රෝහලේ ‘ශාන්ත සෙවණ’ වාට්ටුවේදී අභාවප්‍රාප්ත වූ බව ප්‍රකට සංගීතවේදී දයාන් විතාරණ තහවුරු කරයි.

ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින සිය පැරණි ප්‍රේමවන්තිය නැවත දැකීමේ දැඩි අපේක්ෂාවෙන් පසුවූ මුණසිංහ, එම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට නොහැකිවම මෙසේ දිවියෙන් සමුගෙන ඇත.

ජූලි 27 වැනිදා දයාන් විතාරණ, සෙව්වන්දි රණතුංග සහ ප්‍රියානාත් රත්නායක යන ගායක ගායිකාවන් අපේක්ෂා රෝහලේ අදාළ වාට්ටුවේදී පැවැත්වූ ගීතමය වැඩසටහන අතරතුරදී ගයාන් මුණසිංහ මෙම සංවේදී ඉල්ලීම කර තිබිණි.

රෝගී තත්ත්වයෙන් පසුවුවද, ඔහු නිරංජලා සරෝජිනීගේ ‘ඔබ දැකගැනීමෙන්’ සහ දයාන් විතාරණගේ ‘සිත්තම් කරමින්’ යන ගීත ගායනා කරන ලෙස ඉල්ලා සිටියේය.

ගීතවලට සංවේදී වූ ඔහු, සිය පෙම්වතිය මීට වසර 20කට පමණ පෙර වෙන්ව ගොස් දැනට විදේශගතව සිටින බවත්, ඇයව එකම එක වරක් හෝ දැකගැනීමට ඇත්නම් එය තමන්ට ලැබෙන විශාලතම සතුට බවත් පවසා තිබිණි.

දයාන් විතාරණ සහ සෙව්වන්දි රණතුංග මෙම අවස්ථාවේ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින්, ඇයව සොයාගැනීමට සහාය වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර, එම වීඩියෝව මිලියනයකට අධික පිරිසක් නරඹා තිබිණි.

ගයාන් මුණසිංහගේ අභාවය පිළිබඳ අදහස් දක්වමින් දයාන් විතාරණ සඳහන් කළේ, “අපගේ ෆේස්බුක් ඉල්ලීම මිලියනයකට අධික පිරිසක් අතරට ගියද, ඇය සමඟ දුරකථනයෙන් හෝ කතා කිරීමට ඔහුට අවස්ථාවක් නොලැබීම මහත් කණගාටුවට කරුණක්. සිය පෙම්වතිය දැකගැනීමට නොහැකිවම ඔහු සිය අවසන් ගමන ගියා. මතු ආත්මයකදී හෝ ඔවුන්ට හමුවීමට ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා,” යනුවෙනි.