April 6, 2024

බෙදාහැරීමට නියමිත හෙරොයින් ග්‍රෑම් 6.17ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ 42 හැවිරිදි දෙදරු පියකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ඊයේ(05) මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

සැකකරු 2019 අගෝස්තු 19 වන දින මහරගම වත්තේගෙදර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 329ක් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත්, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ හෙරොයින්වල ශුද්ධ බර ග්‍රෑම් 6.17ක් බව රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කර තිබිණි.

පසුව හෙරොයින් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව චෝදනා ගොනුකළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.