October 29, 2026

ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පවතින මැදගම ප්‍රාදේශීය සභාවේ 2027 වසර සඳහා වන අයවැය යෝජනාවලිය අද පැවැති ඡන්ද විමසීමේදී වැඩිඡන්ද එකකින් පරාජයට පත් විය.

සභාපති අජිත් ප්‍රියන්ත රත්නායකගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ප්‍රාදේශීය සභාව රැස්වූ අතර, විවාදය සඳහා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබුවේ ද සභාපතිවරයා විසිනි.

අයවැය යෝජනාවලියට අදාළව පැවැති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව හිමිවූයේ ඡන්ද 8ක් පමණි. අයවැයට විරුද්ධව ඡන්ද 9ක් හිමි විය.

එක්සත් ජාතික පක්ෂය, සර්වජන බලය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ සහ සමගි ජන බලවේගය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නවදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ මෙම අයවැය යෝජනාවලිය වැඩිඡන්ද එකකින් පරාජයට පත් විය.