October 29, 2026

පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හෝමාගම පොලිස් ස්ථානයේ වැඩතහනමට ලක්වූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පොලිස් නිලධාරියෙකු වන අතර, සිද්ධියෙන් පසු ඔහුගේ වැඩතහනම් කර තිබිණි. ඔහු ඊයේ බස්නාහිර පළාත් දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සිදුවීමට අදාළව, හෝමාගම I දිසාව භාර පොලිස් අධිකාරීවරයා විසින් 2026 ඔක්තෝබර් 26 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගත්තේය.

මෙලෙස වැඩතහනමට ලක්වූවන් අතර හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සහ දූෂණ මර්දන/වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා සහ සිද්ධිය වූ අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද වෙති.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු පියෙකි. මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බවට චෝදනා කරමින් ඔක්තෝබර් 25 වැනිදා පිටිපන හන්දියේදී හෝමාගම පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.