October 29, 2026

ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇති, විදේශ රටවල් 13 ක රැඳී සිටින බවට විශ්වාස කෙරෙන පුද්ගලයින් 112 දෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, 2027 වසර වන විට ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වූට්ලර් පැවසීය.

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති ජනමාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

සහකාර පොලිස් අධිකාරී වූට්ලර් සඳහන් කළේ අදාළ සැකකරුවන් දිවයිනට ගෙන්වා ගැනීමෙන් පසු ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. මෙම පුද්ගලයන් මත්ද්‍රව්‍ය ජාවාරම හරහා නීති විරෝධී ලෙස මුදල් උපයා ඇති බවට චෝදනා එල්ල වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අපරාධවලින් උපයා ගත් බවට සැකකෙරෙන දේපොළ සම්බන්ධයෙන් විශේෂිත පොලිස් ඒකක දෙකක් මගින් විමර්ශන අඛණ්ඩව සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

අදාළ මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කරන ලද දත්තවලට අනුව, රජයට පවරා ගැනීම සඳහා හඳුනාගෙන ඇති දේපොළවල වටිනාකම 2024 වසරේදී රුපියල් බිලියන 1.49 ක්, 2025 වසරේදී රුපියල් බිලියන 1.549 ක් සහ 2026 වසරේ ඔක්තෝබර් 28 වන දින දක්වා රුපියල් බිලියන 1.656 ක් වේ. මෙම දේපොළ අතර රත්රන් ආභරණ, ඉඩම්, වාහන සහ මුදල් ඇතුළත් වේ.

මේ අතර, පසුගිය වසර දෙක තුළ සහ 2026 වසරේ මේ දක්වා කාලය තුළ සැලකිය යුතු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර, රුපියල් බිලියන 107.942 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 4,483 ක්; රුපියල් බිලියන 121.64 ක් වටිනා ‘අයිස්’ කිලෝග්‍රෑම් 7,129 ක්, රුපියල් බිලියන 5.293 ක් වටිනා ගංජා කිලෝග්‍රෑම් 33,277 ක් සහ රුපියල් බිලියන 14.306 ක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් 333 ක් ඇතුළත් වේ.

පවත්නා නීති සම්ප්‍රදායට අනුව නියම වන දඬුවම් පිළිබඳව පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අයිස්, හෙරොයින් හෝ කොකේන් ග්‍රෑම් පහකට වඩා ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම, වෙළඳාම් කිරීම හෝ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ වරදකරුවන් වන පුද්ගලයන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දඬුවම හිමිවිය හැකි බවයි.

2025 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම මේ වන විට වසරක් සම්පූර්ණ කර ඇත. මෙම කාලසීමාව තුළ පොලිසිය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 2,835 ක්, අයිස් කිලෝග්‍රෑම් 3,550 ක්, කොකේන් කිලෝග්‍රෑම් 297 ක් සහ ගංජා කිලෝග්‍රෑම් 11,167 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වසර තුළ විවිධ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින් 5,743 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 450 දෙනෙකුට එරෙහිව නීති විරෝධී ලෙස උපයාගත් දේපොළ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වේ.

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම පොලිසියට මහත් අභියෝගයක් බව පිළිගත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වූට්ලර්, මෙම මෙහෙයුම් ඉදිරියට කරගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහයෝගය පොලිසියට අඛණ්ඩව ලැබෙන බවද අවධාරණය කළේය.