October 29, 2026

මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තවත් කිහිපදෙනකුට එරෙහිව සිදුකරන විමර්ශනය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.

ඒ අනුව, නීතිපති උපදෙස්වල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නඩුව 2027 පෙබරවාරි 11 වන දින යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි.

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ සමයේ ‘එන්.ආර්. කන්සල්ටන්සි’ නම් සමාගමක දළ වශයෙන් රුපියල් මිලියන 15 ක මුදලක් ආයෝජනය කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබේ.

අදාළ මූල්‍ය ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැමිණිල්ලක් ගොනුකර ඇති පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වන විටත් විමර්ශන පවත්වාගෙන යයි.