October 29, 2026

සොරකම් කිහිපයකට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු ගම්වාසීන් පිරිසක් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාරදීමෙන් පසු, පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

වාර්තා වන අන්දමට, මෙම සැකකරු ඔක්තෝබර් 25 වනදා කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේ පිරිසක් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසිය වෙත භාරදී ඇත.

දින දෙකක කාලයක් පොලිස් භාරයේ පසුවූ මෙම සැකකරු ඔක්තෝබර් 27 වනදා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

සැකකරුගේ මරණයෙන් පසුව, ඔහුව අල්ලා පොලිසියට භාරදුන් ගම්වාසීන් පස්දෙනෙකු කොබෙයිගනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ගම්වාසීන්ගේ ඥාතීන් දැඩි නොසන්සුන්තාවයක් පළ කරන අතර, ඔවුන් පවසන්නේ සැකකරු කිසිදු තුවාලයකින් තොරව පොලිසියට භාරදුන් බවයි.

සැකකරු අල්ලා ගැනීමෙන් පසු ගසක බැඳ තැබූ බවත්, පැයක් ඇතුළත පොලිසිය දැනුවත් කර ඔහු සුරක්ෂිතව පොලිසියට භාරදුන් බවත් ඔවුහු පවසති.

සැකකරු අල්ලා ගන්නා අවස්ථාවේදී යම් තුවාල ලබා තිබුණේ නම්, ඔහු මීට පෙර රෝහල්ගත නොකළේ ඇයිදැයි ඥාතීහු මෙහිදී ප්‍රශ්න කරති.

එසේම, මියගිය පුද්ගලයා විසින් සිදුකළ බව කියන සොරකම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිසිය දැනුවත් කර තිබූ බවත්, ඔහු අල්ලා පොලිසියට භාරදෙන ලෙස පොලිසිය විසින්ම ගම්වාසීන්ට උපදෙස් දී තිබූ බවත් ඥාතීන් වැඩිදුරටත් චෝදනා කරයි.