July 14, 2023

ජාතික සම්පතක් වන ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය ගෙන ඇති තීරණයට තරයේ විරුද්ධ වන බව එම සමාගමේ සේවකයෝ පවසති.

එම ආයතනයේ පොදු ඒකාබද්ධ සමිතිය වන ‘ලිට්‍රෝ සුරකීමේ ජාතික එකමුතුව’ විසින් ජනාධිපතිවරයා ඇතුළු අදාළ පාර්ශව ගණනාවක් වෙත ලිපියක් යොමුකරමින් මේ බව අවධාරණය කර ඇත.

සමස්තයක් ලෙස ගත්කල මෙරට ආර්ථිකයේ මර්මස්ථාන සඳහා එල්.පී. ගෑස් සැපැයීමේ ප්‍රමුඛයා වන ලිට්‍රෝ ගෑස් සමාගම, පෞද්ගලික අංශයට ලබාදීම මඟින් සිදු කරනු ලබන්නේ මෙරට පාරිභෝගිකයා සහ ආර්ථිකය ඉතා අවදානමකට පත්කිරීම බව එම ලිපියෙහි සඳහන් කර තිබේ.

එවැන්නක් සිදුවුවහොත් පෞද්ගලික අංශයේ තීරණ මත රටෙහි බලශක්ති ක්ෂේත්‍රය ප්‍රබල අවදානමකට ලක්විය හැකි බව ඔවුන් සඳහන් කර ඇත.

2020-2022 වසරවලදී රුපියල් කෝටි දහසකට අධික මූල්‍ය පාඩුවක් දැරීමට සිදුවී ඇත්තේ අන්තර්ජාතික මිලටත් වඩා අඩුවෙන් මෙරට පාරිභෝගිකයාට ගෑස් ලබාදීම නිසා බවත්, මෙම ප්‍රතිව්‍යුහගතකරණය තුළින් යළි එවැන්නක් බලාපොරොත්තුවීම කිසිසේත්ම නොහැකි බවත්, එහි සඳහන් වේ.

එල්.පී. ගෑස් ලබාදීමට අමතරව ප්‍රතිසංස්කරණ කිරීම, නැවත අලුත්වැඩියා කිරීම නොමිලේම සිදු කරන අතර, ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු එය එසේ කිරීමට නොහැකිවන බවත් සේවකයෝ පෙන්වාදෙති.

මසකට රුපියල් බිලියන 06ක් සහ වාර්ශිකව රුපියල් බිලියන 75කට වඩා වැඩි පිරිවැටුපක් සහිත මෙම සමාගම, තම මෙහෙයුම් කටයුතු සඳහා යොදාගන්නේ දෙසීයකට අසන්න කුඩා සේවක පිරිසක් වන අතර, රටට, භාණ්ඩාගාරයට සහ රජයට බරක් නොමැති මෙවැනි කාර්යක්ෂම සහ ඵලදායී ආයතනයක් පෞද්ගලික අංශයට පවරාදීම අදුරදර්ශී සහ කාලෝචිත නොවන ක්‍රියාමාර්ගයක් බව එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.