November 10, 2026

වන අලින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක ‘හස්ති සේනා’ ඒකාබද්ධ මෙහෙයුම පුළුල් කිරීමේ පියවරක් ලෙස, වැඩි අවදානමක් සහිත ප්‍රදේශවල පිහිටි අලිමංකඩ ඔස්සේ විශේෂ හමුදා කණ්ඩායම් යෙදවීමට අනුමත වී ඇත.

පරිසර අමාත්‍යාංශයේදී පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනා පිළිබඳව අවධානය යොමු කෙරිණි. මේ සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව එක්ව ක්‍රියාත්මක කරන ‘හස්ති සේනා’ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට සිටින වන අලි සම්පත ආරක්ෂා කිරීම සහ උග්‍ර වන අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීමයි.

තනිව හැසිරෙන හස්තීන් සහ පැටවුන් සහිත අලි රංචු ගැවසෙන ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, එම සතුන් ගැවසෙන අලිමංකඩ ඔස්සේ විශේෂ යුද හමුදා ආරක්ෂක කණ්ඩායම් යෙදවීමට මෙම සාකච්ඡාවේදී තීරණය විය.

එමෙන්ම වැඩි අවදානමක් සහිත අලි සංක්‍රමණික කලාප සහ ඒ අවට පරිසර පද්ධතිවල සිටින අලින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එම සතුන් නිරන්තර නිරීක්ෂණයට ලක්කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

වනජීවී අපරාධ, විශේෂයෙන්ම හක්කපටස් නිෂ්පාදනය, බෙදාහැරීම සහ භාවිතය මෙන්ම බඳින තුවක්කු සහ නීතිවිරෝධී ගිනිඅවි භාවිතය මැඩපැවැත්වීම සඳහා බුද්ධි තොරතුරු මත පදනම් වූ මෙහෙයුම් ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු විය.

වන අලින්ට දැඩි තර්ජනයක් වන මෙම නීති විරෝධී කටයුතුවල නිරත ජාලයන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සඳහා ඉලක්කගත වැටලීම් සිදුකිරීමට ද බලධාරීහු සාකච්ඡා කළහ.

‘හස්ති සේනා’ මෙහෙයුම ව්‍යුහගත ප්‍රතිපත්තියක් සහ නීතිමය රාමුවක් යටතේ නිල වශයෙන් පුළුල් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය විය.

වනජීවී ආරක්ෂණ පියවර ශක්තිමත් කිරීම සහ දිවයින පුරා වර්ධනය අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.