February 9, 2025

මෙරට පැවැති 30 වසරක යුද්ධය අවසන් වී වසර 15කට අධික කාලයක් ගතවී ඇතත්, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 974ක් තවමත් අවතැන්වූවන් ලෙස සුබසාධන කඳවුරුවල රැඳී සිටින බව වාර්තා වේ.

මෙම පවුල් සඳහා නිවාස ලබාදීම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇතත්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මෑත කාලීනව නිකුත් කළ විගණන වාර්තාවක් මගින් එම පවුල්වල සාමාජිකයන් නැවත පදිංචි කිරීමේ ප්‍රයත්නවල පවතින ගැටලුකාරී තත්ත්වයන් සහ ප්‍රමාදයන් පෙන්වා දී ඇත.

ඒ සඳහා අමාත්‍යාංශය කඳවුරු නඩත්තු කිරීම සහ ඒවායේ ජල සැපයුම සඳහා රුපියල් මිලියන 16.78 ක මුදලක් වෙන්කර ඇතත්, නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය තවමත් ක්‍රමානුකූලව සහ කාලෝචිත ආකාරයකින් අවසන් කර නොමැත.

යාපනයේ සුබසාධන කඳවුරුවල රැඳී සිටින පවුල් 974ක් නැවත පදිංචි කිරීම, ඉඩම් නිදහස් කිරීම සහ නිවාස ඉදිකිරීම සම්බන්ධ ගැටළු හේතුවෙන් ප්‍රමාද වී ඇතැයි අමාත්‍යංශය පෙන්වාදෙයි.

එම පවුල් කඳවුරු තුළ දීර්ඝ කාලයක් රැඳී සිටියද ඔවුන්ට අවශ්‍ය ජලය, නඩත්තුව ඇතුළු පහසුකම් සලසන බවට අමාත්‍යාංශය සහතික වී තිබේ.

කෙසේවෙතත්, නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ජාතික විගණන කාර්යාලය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න පවසා ඇත්තේ, නැවත පදිංචි කිරීමට ඇති මූලික බාධාව බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රමාදය සහ ඉඩම් සම්බන්ධයෙන් පවතින අභියෝග බවයි.

මෙම ගැටළු කඩිනමින් විසඳීමට රජය කැපවී සිටින බව ද ඔහු පවසයි.

“අපි මේ රජය යටතේ එම ගැටළු ඉක්මනින් ප්‍රශ්නය විසඳීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම මේ වන විට මෙම පවුල් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයමින් සිටිනවා,” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.(The Sunday Morning)