November 1, 2026

කුඩා දරුවකුට පහරදෙනු ලබන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුළුල් ලෙස සංසරණය වීමත් සමඟම, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසිය සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් 31 වැනි දින මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැරී ඇති අතර, ඒ පිළිබඳව සැලවීමත් සමඟම එඩේරමුල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ඇත.

ඒ අනුව, එම දිනයේදීම (ඔක්තෝබර් 31) අදාළ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් පොලිසිය, පහරකෑමට ලක් වූ දරුවා ක්ෂණිකව ආරක්ෂිත පොලිස් භාරයට ගෙන තිබේ. අනතුරුව, සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත භාර දීමට පියවර ගෙන ඇත.

පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත්තේ මෙම පහරදීමේ සිදුවීම පසුගිය ඔක්තෝබර් 28 වැනි දින සිදුව ඇති බවයි.

පහරකෑමෙන් තුවාල ලැබූ දරුවා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් පවතී.