November 1, 2026

ස්වාමිපුරුෂයකු සහ බිරිඳක් එකිනෙකා අතර පමණක් වූ ‘කුමන්ත්‍රණ’ වරදක් සම්බන්ධයෙන් එකට චෝදනා ලැබිය නොහැකි වුවද, පැමිණිලිකාර පාර්ශවය නොදන්නා වෙනත් පාර්ශවයක් හෝ පාර්ශවයන් කිහිපයක් සමඟ ඔවුන් කුමන්ත්‍රණයක නිරත වී ඇති බවට අනාවරණය වන්නේ නම්, ඔවුන්ට එරෙහිව කුමන්ත්‍රණ වරද යටතේ චෝදනා නැගිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

එක්සත් ජනපදයේදී වංචනික ලෙස ලබාගත් බවට පැවසෙන මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පවරා ඇති නඩුවකදී, තමන් ස්වාමිපුරුෂයා සහ බිරිඳ වන බැවින් තමන්ට එකට කුමන්ත්‍රණ වරද යටතේ චෝදනා නැගිය නොහැකි බවට අඹුසැමි යුවළක් ඉදිරිපත් කළ විරෝධතාවක් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදී තිබේ.

කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා ලබාසිටි රියන්සි මහේෂ් කුමාර සහ පුණ්‍යා ප්‍රියංජි මැණිකේ යන විත්තිකරුවන් නඩු විභාගය අතරතුර මූලික විරෝධතාවක් මතුකරමින් පවසා ඇත්තේ, තමන් අඹුසැමියන් වන බැවින් ‘කුමන්ත්‍රණය’ යන චෝදනාව යටතේ තමන්ට එරෙහිව පවරා ඇති නඩුව පවත්වාගෙන යා නොහැකි බවයි.

නීතිපතිවරයා කළ ඉල්ලීමකින් පසුව මහාධිකරණය මීට පෙර එම විරෝධතාව ප්‍රතික්ෂේප කර තිබිණි. පසුව එම යුවළ ඊට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, අභියාචනාධිකරණය ඔවුන්ට පක්ෂව තීන්දුව ලබාදී ඇත. අනතුරුව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් තර්ක කර ඇත්තේ, පැමිණිලිකාර පාර්ශවය නොදන්නා තෙවැනි පාර්ශවයක් හෝ තැනැත්තන් සම්බන්ධ වන්නේ නම් ස්වාමිපුරුෂයකුට සහ බිරිඳකට කුමන්ත්‍රණ චෝදනාව යටතේ චෝදනා ගොනුකළ හැකි බවයි.

ජනක ද සිල්වා සහ සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟතාව සහිතව, විනිසුරු මේනකා විජේසුන්දර නීතිපතිවරයාට පක්ෂව තීන්දුව ලබාදී ඇති අතර අභියාචනාධිකරණය විසින් පිළිගෙන තිබූ මූලික විරෝධතාව බලශූන්‍ය කිරීමට නියෝග කර ඇත.