November 1, 2026

ලොව පුරා රටවලින් පැමිණෙන කාන්තාවන් 250 දෙනකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ‘රේඩ් ඇමසෝන්ස් ශ්‍රී ලංකා 2026’ අන්තර්ජාතික වික්‍රමාන්විත තරගය නොවැම්බර් 2 වැනිදා සිට 10 වැනිදා දක්වා කළුතර ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතය.

මෙමඟින් ශ්‍රී ලංකාව වික්‍රමාන්විත සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකයට ප්‍රවර්ධනය කෙරෙන අතර, ශාරීරික විඳදරාගැනීම, කණ්ඩායම් ක්‍රියාකාරීත්වය සහ සංස්කෘතික ගවේෂණය එකතු කළ එළිමහන් තරග මාලාවක් සඳහා විදෙස් සහභාගීවන්නන් මෙහිදී එක්රැස් වනු ඇත.

ප්‍රංශ ජාතික වික්‍රමාන්විත ක්‍රියාකාරකම් විශේෂඥයකු වන ඇලෙක්සැන්ඩර් ඩෙබාන් විසින් 2001 වසරේදී ආරම්භ කරන ලද ‘රේඩ් ඇමසෝන්ස්’ යනු මෝටර් රථ හෝ යන්ත්‍ර සූත්‍ර භාවිත නොකරන, කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ විශේෂ වික්‍රමාන්විත තරගාවලියකි.

මීට පෙර 2004 වසරේදී මෙරට ප්‍රථම වරට පවත්වන ලද මෙම තරගයේ අටවැනි ශ්‍රී ලංකා තරග වාරය මෙවර මෙලෙස ක්‍රියාත්මක වේ.

මෙම තරගයට සහභාගී වන්නන් කළුතර වෙරළ තීරයන්, ගංගා, තෙත්බිම් සහ ගම්බද ප්‍රජාවන් ආශ්‍රිත ප්‍රදේශ ගවේෂණය කරමින්, විවිධ ක්‍රීඩා අභියෝගවල නිරත වෙමින් දේශීය සම්ප්‍රදායන්, ආහාර සහ සංස්කෘතික අංග අත්විඳීමට නියමිතය.

මෙම උත්සවය ‘රේඩ් ඇමසෝන්ස්’, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ‘කොනේසාන්ස් ද සෙයිලාන්’ ආයතනවල හවුල්කාරිත්වයෙන්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබයි.

මෙමඟින් ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය ඉහළ නැංවීමටත්, විශේෂයෙන්ම යුරෝපා සංචාරකයින් අතර මෙරට වික්‍රමාන්විත සංචාරක ව්‍යාපාරය ජනප්‍රිය කිරීමටත් හැකි වනු ඇතැයි සංවිධායකයෝ දැඩි විශ්වාසයක් පළකරති.