June 29, 2026

ඔස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරික මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය සමග සාකච්ඡා මාර්ගයට එළඹිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

එහිදී මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා කාලය ලබාගෙන කටයුතු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹිය හැකි බව ද ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජයට ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලීමක් කළ හැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ ඇතැම් විට එම සාකච්ඡා සාර්ථක විය හැකි බවයි.

සාකච්ඡා මාර්ගයකින් මෙම අර්බුදය සම්බන්ධයෙන් කරුණු දැක්වුවහොත් ඔවුන් ණය පියවීම සඳහා තවත් කාලපරිච්ඡේදයක් ලබාදීමේ හැකියාව ඇති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මෙහි බර ජනතාව මත පැටවීමක් සිදු නොකරන බව රජය පැවසුව ද ණය පියවා ගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට රජය අපොහොසත් වුවහොත් ඒවා අනිවාර්යයෙන්ම ගෙවිය යුතු වන්නේ ජනතාවගේ බදු සල්ලිවලින් බව ද ඔහු අවධාරණය කළේය.