June 29, 2026

වත්මන් රජය තමන්ට හිතවත් තෝරාගත් YouTube නාලිකා කිහිපයක් දේශපාලන සන්නිවේදන මෙවලමක් ලෙස භාවිත කරමින්, ඉදිරියේදී සිදුකිරීමට නියමිත අත්අඩංගුවට ගැනීම් පිළිබඳව මහජනතාව තුළ කෘත්‍රිම බලාපොරොත්තු ඇති කිරීමට උත්සාහ කරන බවට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ.

ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියාසිටියේ, මීළඟට අත්අඩංගුවට ගන්නේ කවුද යන්න පිළිබඳව ඇතැම් YouTube නාලිකා නිරන්තරයෙන්ම ප්‍රචාරණ යාන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවයි.

“පසුගිය කාලයේ ආණ්ඩුවේ මතය ප්‍රකාශ කරන්න රාජ්‍ය මාධ්‍ය වැඩසටහන් තිබුණා. හැබැයි අද ඒ භූමිකාව YouTube නාලිකා කිහිපයකට මාරුවෙලා. ඔබ ඒව බැලුවොත්, ලබන මාසේ හිරේ යන්න නියමිත කවුද කියලා නමත් එක්කම ඔවුන් කියනවා,” යනුවෙන් දිලිත් ජයවීර සඳහන් කළේය.

මෙවැනි උපක්‍රම දිගුකාලීනව සාර්ථක නොවන බවත්, වත්මන් පාලකයන් විපක්ෂයේ සිටියදී විවේචනය කළ ක්‍රමවේදයන්ම ඔවුන් දැන් බලයට පැමිණි පසු ක්‍රියාත්මක කරන බවත් ඔහු පෙන්වාදුන්නේය.

රජයේ ආර්ථික කළමනාකරණය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, නිල ආර්ථික දර්ශක යහපත් අතට හැරෙමින් පවතින බව පැවසුවද සාමාන්‍ය ජනතාවගේ ආදායම්වල කිසිදු සාධනීය වර්ධනයක් සිදුව නොමැති බව ප්‍රකාශ කළේය.

“සැබෑ ආර්ථිකය නිරූපණය වෙන්නේ සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛනවලින් විතරක් නෙවෙයි. එය තීරණය වෙන්නේ මිනිස්සුන්ගේ නිවෙස්වල, සේවා ස්ථානවල සහ ඔවුන්ගේ සාක්කුවල තියෙන මුදල් ප්‍රමාණයෙන්,” යැයි ඔහු අවධාරණය කළේය.

බදු සහ රජයේ ගාස්තු ඉහළ යෑම හේතුවෙන් සාමාන්‍ය පුරවැසියා මත පැටවී ඇති බර තවත් දරුණු වී ඇති බවත්, රජය ජන ජීවිත නංවාලීමට වඩා මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට පමණක් මුල් තැන දී කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.

එසේම, වෘත්තීය සහ සමිති අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම පිළිගත් මානව අයිතිවාසිකමක් බැවින්, කම්කරුවන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් කතාකිරීමට බියනොවිය යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේය.