August 12, 2026

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායම සහ බෙංගාල ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන කඩුලු රකින පිතිකරු අභිෂේක් පොරෙල් ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බටහිර බෙංගාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්කටා මහා අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව හූග්ලි දිස්ත්‍රික්කයේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරුව ඔහුව දින තුනක පොලිස් අත්අඩංගුවේ තැබීමට නියෝග කර ඇත.

මොග්රා පොලිස් ස්ථානය වෙත කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා තිබේ. විවාහ වන බවට පොරොන්දු වී තමන් සමඟ ශාරීරික සබඳතා පැවැත්වූ බවට අදාළ කාන්තාව විසින් පොරෙල්ට චෝදනා කර ඇති අතර, ඊට අමතරව තර්ජනය කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් ද ඔහුට එල්ල වී ඇත. කෙසේවෙතත් මෙම චෝදනා මෙතෙක් අධිකරණය හමුවේ ඔප්පු වී නොමැත.

පසුගිය ජූලි 14 වැනිදා කොල්කටා මහා අධිකරණය පොලිසියට නියෝග කළේ අභිෂේක් පොරෙල් සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, විමර්ශනයට අදාළ ඉලෙක්ට්‍රොනික උපකරණ අත්අඩංගුවට ගන්නා ලෙසත්ය.

23 හැවිරිදි වියේ පසුවන අභිෂේක් පොරෙල් ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියේ බෙංගාල කණ්ඩායම වෙනුවෙන් සහ IPL තරගාවලියේ ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් කැපීපෙනෙන දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.