
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසර තුනක කාලය තුළ විශ්වවිද්‍යාල වලින් වාර්තා වූ නවකවධය පිළිබඳ සිදුවීම් සහ ඒවා වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 10 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දිවයින පුරා පිහිටි රජයේ විශ්වවිද්‍යාල 16කට නියෝග කර තිබේ.
2020 වසරේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් එකල පළමු වසරේ සිසුවකු වූ පසිඳු හර්ෂණ ද සිල්වාට විශාල ටයරයක් විසිකිරීමෙන් ඇතිවූ බරපතළ තුවාල හේතුවෙන්, මූලික මානව හිමිකම් කඩ වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීම සඳහා මෙම නියෝගය නිකුත්කර ඇත.
බුවනෙක අලුවිහාරේ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ (11) කැඳවා තිබේ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අවන්ති පෙරේරා අධිකරණයට දන්වා ඇත්තේ, අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති දිවයින පුරා පිහිටි සියලුම රජයේ විශ්වවිද්‍යාල නියෝජනය නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.
ඒ අනුව අදාළ වාර්තා පෞද්ගලික නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වගඋත්තරකරුවන්ට දැනුම්දෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, මෙම නඩුවේ වගඋත්තරකරුවන් වන පොලිස්පති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) සහ උසස් අධ්‍යාපන ඇමැතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනීසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනීසිටි පෞද්ගලික නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ එම වාර්තා ලබාදීමට තවත් කල් ලබාදෙන ලෙසටය.
එමෙන්ම පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, පෙත්සම්කරු කිසිදු වන්දියක් ඉල්ලා නොසිටින බවත්, අනාගතයේ දී විශ්ව විද්‍යාල තුළ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස අධිකරණයෙන් නියෝගලබාගැනීම තම සේවාදායකයාට අවශ්‍ය බවත්ය.
මෙම නඩුව නොවැම්බර් 10 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇති අතර, එම දිනයේදීම කොළඹ, කැලණිය, පේරාදෙණිය, වවුනියාව, සබරගමුව සහ වයඹ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ විශ්වවිද්‍යාල 16කට ද අදාළ වාර්තා ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart