September 27, 2026

ශ්‍රී ලංකාවේ පාලක ජනතා විමුක්ති පෙරමුණේ පස්පුද්ගල නියෝජිත පිරිසක් සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 1 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරය සිදුවන්නේ ඉන්දියාවේ KNOW BJP වැඩසටහන යටතේ ලැබුණු ආරාධනාවකට අනුවය.

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය(BJP) නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් The Hindu පුවත්පත මෙම සංචාරය පිළිබඳව වාර්තා කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිසේ සංචාරය දින හතරක සංචාරයක් ලෙස BJP පක්ෂය හඳුන්වා දී ඇත. එම නිවේදනයේ ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය ලෙස දක්වා තිබේ.

ඉන්දීය සංචාරය අතරතුර, ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සහ BJP ජාතික සභාපති නිටින් නබින් හමු වීමට නියමිතය. මීට අමතරව ඩෙල්හි මහ ඇමතිනී රේඛා ගුප්තා හමු වීමට ද සැලසුම් කර ඇත.

තවද, මෙම නියෝජිත පිරිස BJP පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

සංචාරයට පෙර BJP පක්ෂය විසින් මෙම සංචාරයේ දින වකවානු, නියෝජිත පිරිසේ සංයුතිය සහ සැලසුම් කර ඇති හමුවීම් පිළිබඳ විස්තර ප්‍රකාශයට පත්කර ඇත.