November 11, 2026

ශ්‍රී ලංකාව අද කොළඹ වරාය නගරයේදී, නියමුවෙකු නොමැති මගී ප්‍රවාහන ඩ්‍රෝන යානයක පළමු නිල ප්‍රදර්ශන පියාසැරිය සාර්ථකව සිදු කළ අතර, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ද එම යානයට ගොඩවී එහි ගමන් කළේය.

මෙම අත්හදා බැලීම ශ්‍රී ලංකාව තුළ විදුලි බලයෙන් ක්‍රියාත්මක මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා හඳුන්වා දීමේ තීරණාත්මක පියවරක් සලකුණු කරයි. මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

ගුවනින් ගමන් කර ගොඩබෑමෙන් අනතුරුව තමන් ලැබූ අත්දැකීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ, “මට හිතුණේ මම ඇත්තටම පියඹලා ගියා වගේ” යනුවෙනි.

මෙහිදී මාධ්‍ය අමතමින් නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ප්‍රකාශ කළේ ඉදිරි මාස හය ඇතුළත ඩ්‍රෝන යානා භාවිතයෙන් වාණිජ මගී ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

මගී ප්‍රවාහනය, සංචාරක ක්ෂේත්‍රය සහ හදිසි සේවා සඳහා විදුලියෙන් ක්‍රියාත්මක සිරස් අතට ගුවන්ගත වන සහ ගොඩබස්වන (eVTOL) යානා හඳුන්වා දීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ චීනයේ ‘ඊ-හැං’ (Yi Hang) මගී ඩ්‍රෝන නිෂ්පාදන සමාගමේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.