September 27, 2026

ඇමෙරිකානු ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට තර්ජනයක් වන පරිදි මුහුදු මාර්ගයෙන් සිදුකරන අන්තර්ජාතික සම්බාධක මඟහැරීමේ ජාවාරම් අල්ලන්න, ඇමෙරිකානු තානාපති කාර්යාලය මුල්වෙලා කොළඹදී දින තුනක විශේෂ ‘පුහුණු වැඩසටහනක්’ පවත්වා තිබෙනවා.

සැප්තැම්බර් 09 සිට 11 දක්වා පැවැත්වුණු මේ වැඩසටහනට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව, ශ්‍රී ලංකා මහ බැංකුව, වෙරළාරක්ෂක බලකාය, වෙළඳ නාවික ලේකම් කාර්යාලය, වරාය අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය සහ නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් 40 දෙනෙකුට වැඩි පිරිසක් එකතුවෙලා ඉන්නවා.

සැකකටයුතු නැව් හඳුනාගන්න හැටි, මුහුදේ කෙරෙන හොර ජාවාරම්වලට තිත තියන හැටි වගේම රාජ්‍ය ආයතන එකතු වෙලා වැඩකරන හැටි ගැන ඇමෙරිකානු විශේෂඥයන් මෙහිදී ලොකු පාඩමක් කියලා දීලා තියෙනවා.

ඉන්දියන් සාගරයේ ප්‍රධාන නෞකා හුවමාරු මධ්‍යස්ථානයක් වන ලංකාව හරහා හොර පාරෙන් යන නැව් අල්ලන්න මේක ගොඩක් වැදගත් කියලා තමයි ඇමෙරිකානු තානාපති කාර්යාලය කියන්නේ.

කොහොමවුණත්, මේ පුහුණු වැඩසටහන අතරතුර ඇමෙරිකානු විශේෂඥයන් පෙන්වූ එක්තරා ඉදිරිපත් කිරීමක සටහන්ව තිබූ ‘නැවකට ගොඩවීමට අවසර දීමේ තීරණය ගන්නේ කවුද? (Who makes the decision to authorise a boarding?) යන ප්‍රශ්නය දැන් කාගේත් අවධානයට ලක්වෙලා තිබෙනවා. රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවල කියැවෙන්නේ, ලංකාවේ මුහුදු සීමාවට ආසන්නයෙන් යන ඕනෑම සැකකටයුතු නැවක් පරීක්ෂා කිරීමට තීරණ ගැනීමේ බලය සහ ඊට අදාළ ක්‍රියාමාර්ග ගැන මෙහිදී දැඩි ලෙස සාකච්ඡා වී ඇති බවයි.