August 6, 2026

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම හිටපු අවාමි ලීග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ෂකීබ් අල් හසන්ගේ පාරම්පරික නිවසට පසුගිය ඊයේ රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ නවදිල්ලියේ පැවැති මාධ්‍ය හමුවකට හිටපු අගමැතිනිය වන ෂෙයික් හසීනා සමඟින් ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී පැය කිහිපයකට පසුවය.

මගුරා නගරයේ කේෂබ්මෝර් ප්‍රදේශයේ පිහිටි ෂකීබ්ගේ පාරම්පරික නිවසට එරට වේලාවෙන් රාත්‍රී 8.45 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

වාර්තාවලට අනුව අදාළ නිවසට අලාභහානි සිදුකර ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවූ බවට වාර්තා වී නොමැත.

මෙම ප්‍රහාරය එල්ල වූයේ නවදිල්ලියේ විදේශීය වාර්තාකරුවන්ගේ සංගමය විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අමතමින් ෂෙයික් හසීනා අදහස් දැක්වීමෙන් නොබෝ වේලාවකට පසුවය.

“මගේ නැවත පැමිණීම බලය ලබාගැනීම සඳහා නෙවෙයි. එය බංග්ලාදේශය නැවතත් සංවර්ධනය, ලෞකිකත්වය සහ සෞභාග්‍යය කරා යන මගට ගැනීමටයි,” යනුවෙන් එහිදී හසීනා පැවසුවාය.

“ඔවුන් මාව සිරගත කිරීමට හෝ මරා දැමීමට ඉඩ ඇති බව මා දන්නවා… නමුත් මගේ ජනතාව සමඟ සිටීමට මා නැවත මගේ රටට යනවා. මා බංග්ලාදේශයට යාමට තීරණය කර අවසන්, මා අනිවාර්යයෙන්ම යනවා,” යනුවෙන්ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මාස ගණනාවක් පුරා පැවැති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හමුවේ ඇගේ රජය බිඳවැටීමෙන් පසු, 2024 අගෝස්තු 5 වන දින ඩකා නුවරින් පිටත්ව ගිය හසීනා එතැන් සිට ඉන්දියාවේ ජීවත් වන්නීය.