May 20, 2026

පරීක්ෂාවට ලක් කරන ඩීසල් වාහනවලින් සියයට 50ක් හානිකර කළු දුම නිකුත් කරන බවට හඳුනාගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශය අනාවරණ කරයි.

මේ වසරේ මේ දක්වා කළු දුම නිකුත් කරන බවට සැක කෙරෙන වාහන 1,000ක් පමණ පරීක්ෂා කර ඇති බව වායු විමෝචන අංශයේ අධ්‍යක්ෂ දසුන් ජනක ගමගේ පැවසීය.

වාහන භාවිතය ඉහළ දිස්ත්‍රික්ක 12ක් පුරා පරීක්ෂණ තීව්‍ර කර ඇති බවත්, පරීක්ෂාවන් සිදු කිරීම සඳහා ජංගම කණ්ඩායම් යොදවා ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

හානිකර කළු දුම නිකුත් කරන බවට හඳුනාගෙන ඇති වාහනවල එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා දින 14ක කාලයක් ලබා දී ඇත.

ලබා දී ඇති කාල රාමුව තුළ දෝෂ නිවැරදි කිරීමට අපොහොසත් වන වාහන හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, එවැනි වාහන අසාදු ලේඛනගත කරන බවත් වායු විමෝචන අංශය පැවසීය.