October 16, 2026

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට ජනාධිපති සමාව ලබාදීම සඳහා ඉදිරිපත් වන ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සුදුසු අවස්ථාවේදී සුදුසු තීරණයක් ගනු ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

ඥානසාර භික්ෂුවට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව රජය සලකා බලන්නේදැයි ජනමාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙම කාරණය අධිකරණ ක්‍රියාදාමයට සම්බන්ධ එකක් බවත්, අධිකරණය ඒ සම්බන්ධයෙන් දැනටමත් තීන්දුවක් ලබාදී ඇති බවත් ඇය පැවසුවාය. ඉදිරියේදී ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් අධිකරණයේ උපදෙස් මත පදනම් විය යුතු බවද ඇය සඳහන් කළාය.

රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා සුදුසු තීරණ ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ජනාධිපතිවරයා අධිකරණයට, රටේ සංස්කෘතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරුකරන බවත්, ඔහු මෙතෙක් ගත් තීරණ සඳහා එම මූලධර්ම මඟපෙන්වීමක් වී ඇති අතර ඉදිරියේදීද එසේම වනු ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ඥානසාර භික්ෂුවට බන්ධනාගාර ඇඳුම් ඇඳීමට සිදුවීම සම්බන්ධයෙන් මුලින් විරෝධය පළකරමින් මහනුවරින් ආරම්භ කළ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පා ගමන මේ වන විට එම භික්ෂුවට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා සිටීම දක්වා වෙනස් වී තිබේ. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළකළාය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ඊයේ (15) මහනුවර මල්වතු සහ අස්ගිරි මහා විහාර වෙත ගොස් එම පාර්ශ්වයන්හි මහානායක සහ අනුනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුවය.

රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද සංශෝධිත ජාතික විෂයමාලා රාමුවද එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් මහානායක සහ අනුනායක හිමිවරුන් වෙත පිළිගන්වා තිබේ.