June 3, 2023

ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට (05) අඩු දරුවන් සියලුදෙනාගේම බර, උස මැන බලා පෝෂණ තත්ත්වය තීරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න කියයි.

එමගින් දරුවන්ගේ මිටි බව, කෘෂ බව, ස්ථුල බව, බර අඩු වීම ආදිය මේ මාසය තුළ මැන බැලීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනතාව අතර සෑම වයස් කාණ්ඩයකම ජනතාව කෘෂ බවින් පෙළෙති. එසේම අධි බර සහ ස්ථූල බවින් ද පෙළෙති.

එබැවින් අවශ්‍ය උසට සරිලන බරක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් සඳහා ආහාර මාර්ගෝපදේශයක් සකස් කර අතැයි අධ්‍යක්ෂවරිය පවසයි. එම මාර්ගෝපදේශ පෝෂණ අංශයේ වෙබ් අඩවියේ අඩංගු කර ඇත.

දරුවාව රෝගියෙකු බවට පත් කරවන ආහාර මිලදී ගෙන ලබාදීමෙන් වළකින ලෙසත් ඇය ඉල්ලා සිටී.

දරුවන්ට ලබාදෙන සෞඛ්‍යයට අහිතකර ආහාර වලට ඔවුන් ඇබ්බැහි වන බව ද පෙන්වාදෙයි.

දරුවාගේ පාසල අවට අලෙවි කරන ආහාර වර්ග මොනවා දැයි මදකට සොයා බලන ලෙස විශේෂඥ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න ඉල්ලා සිටී.

දරුවන්ට ලබාදෙන සෞඛ්‍යයට අහිතකර ආහාරවලට ඔවුන් ඇබ්බැහිවීම අනාගත පරම්පරාව රෝගීන් බවට පත්වීමට හැකි හේතුවක් බව ඇය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යක්ෂවරිය මෙම අදහස් පළ කළාය.

(දිවයින)