August 31, 2023

ශ්‍රී ලංකාව පිටියේදී අඛණ්ඩව සිය දස්කම් පවත්වාගෙන එන අයුරු මෑත කාලීනව බොහෝ විට දැක ගත නොහැකිය. වත්මන් ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකාව අද තරගයට පිවිසෙන්නේ හොඳම කණ්ඩායම ලෙස නොවේ. නමුත් තාක්ෂණිකව, මාස කිහිපයකට පෙර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපරාජිතව නිමා කළ කණ්ඩායමය.

එහෙත් ආබාධ හේතුවෙන් නායක දසුන් ශානකට පන්දු බලඇණියේ ප්‍රධාන තුරුම්පු අහිමි වී ඇත. පැයට කිලෝමීටර් 145 ඉක්මව විය හැකි දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, ඩිල්ෂාන් මධුශංක මෙන්ම ප්‍රධානතම දඟ පන්දු තුරුම්පුව වනිඳු හසරංග ද තරගාවලිය ආරම්භ වීමටත් ප්‍රථම ආබාධිත ලැයිස්තුව දිර්ඝ කර තිබේ

ශානක ඉතිරිව ඇති එකම විශ්වාසය මහේෂ් තීක්ෂණ පමණි. ආබාධිත ලැයිස්තුව තරම් අත්දැකීම් සහ ජාත්‍යන්තර කඩුලු ලබා නොගත්ත ද සංචිතය තුළ සිටින වේග පන්දු යවන්නන්ට ද තරගයක් වෙනස් කළ හැකිය. කෙසේ වෙතත් ලෝක කුසාලන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය තුළදීත්, ඊට පෙරදීත් කැපී පෙනන අඩු පාඩුවක්ව පැවති පිතිකරුවන්ගේ භූමිකාව තරග ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට දැන් අත්‍යවශ්‍ය වේ.

“අපිට ආබාධ වෙන එක නවත්තන්න බෑ,” ශානක තරගයට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. “අවාසනාවකට ඒක අපේ කණ්ඩායමට පුන පුනා වෙන දෙයක්. මම හිතන්නේ අපි පුහුණුවීම් කරන විදිහේ හෝ අපේ උත්සාහයේ වරදක් නැහැ. නමුත් මම හිතන්නේ අපි පීඩනය යටතේ හොඳින් දස්කම් දක්වනවා. ඒක කරන්න පුළුවන් කණ්ඩායම අපිට ඉන්නවා. විශේෂයෙන්ම පිතිකරණ අංශයෙන්. අපිට පළපුරුදු ක්‍රීඩකයන් ඉන්නවා. මම හිතන්නේ ඒ පීඩනය මැද වුණත් අපිට ගොඩක් දුර යන්න පුළුවන් වෙයි කියලා.” දසුන් විශ්වාසය පළ කළේය.

වෛරස් උණ සුව නොවීම හේතුවෙන් තරගාවලිය ආරම්භයට දිනක් ඉතිරිව තිබියදී ලින්ටන් දාස් සංචිතයෙන් ඉවත් කිරීමට බංග්ලාදේශයට සිදු විය. එමෙන්ම අද තරගයට ඔවුන් පැමිණෙන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහිව මව්බිමේදී ලද තරඟාවලි පරාජය ද සමගින්ය.

බංග්ලාදේශ කණ්ඩායම සමස්තයක් ලෙස තරුණ හා අත්දැකීම්වල පරිපූර්ණ ක්‍රීඩකයින්ගේ සම්මිශ්‍රණයකි. පල්ලෙකැලේ තත්ත්වය ද ඔවුන්ගේ දඟ පන්දු යවන්නන්ට ගැලපෙන බැවින් සමස්තයක් ලෙස, ශ්‍රී ලංකාවට මව්බිමේ වාසිය තිබුණද බංග්ලාදේශය සිටිනුයේ තරමක් ඉදිරියෙනි.

ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්

කුසල් පෙරේරා කොවිඩ් -19 රෝගයෙන් සුවය ලබමින් සිටින බැවින් අද තරගයේදී විවේක ගන්වනු ඇත. හසරංග වෙනුවට එකම පා දඟ විකල්පය දුෂාන් හේමන්ත වන නමුත් පිතිකරණ දක්ෂතා හේතුවෙන් දුනිත් වෙල්ලාලගේට අවස්ථාවක් හිමි විය හැකිය.

ශ්‍රී ලංකාව: 1 දිමුත් කරුණාරත්න, 2 පැතුම් නිශ්ශංක, 3 කුසල් මෙන්ඩිස් (කඩුලු රැකීම), 4 සධීර සමරවික්‍රම, 5 චරිත් අසලංක 6 ධනංජය ද සිල්වා, 7 දසුන් ශානක (නායක), 8 දුෂාන් හේමන්ත / දුනිත් වෙල්ලාලගේ, 9 මහේෂ් තීක්ෂණ, 10 බිනුර ප්‍රනාන්දු, 11 කසුන් රාජිත

ලිටන් වෙනුවට අනාමුල් හක් සංචිතයට ඇතුළත් කර ඇතැත්  ටැන්සිඩ් හසන්ට එක්දින වරම් ලැබීමේ වැඩි අවස්ථාවක් අද තරගය තුළ තිබේ. දණහිසේ ඇති සුලු ආබාධය හේතුවෙන් මුස්තාෆිසුර් රහ්මාන් ක්‍රීඩාකරන 11 දෙනා අතර නොසිටිනු ඇත.

බංග්ලාදේශය: 1 මොහොමඩ් නයිම්, 2 ටැන්සිඩ් හසන්/අනාමුල් හක්, 3 නජ්මුල් හුසේන් ෂැන්ටෝ, 4 ෂකීබ් අල් හසන් (නායක), 5 ටවුහිද් රිදෝයි, 6 මුෂ්ෆිකර් රහීම් (කඩුුලු රැකීම), 7 අෆිෆ් හුසේන්, 8, මෙහිදි හසන් 9 ටස්කින් අහමඩ්, 10 හසන් මහමුද්, 11 ෂොරීෆුල් ඉස්ලාම්

තණතීරුවේ ස්වභාවය

LPL තරඟාවලිය තුලදී, පල්ලෙකැලේද ඇතුලුව බොහෝ තණතීරු two-paced බව සනාථ විය. ඒ අනුව පන්දු යවන්නන්ට වේගය වෙනස් කිරීමේ ප්‍රතිවාදී පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කිරීමේ අවස්ථාව ඕනෑතරම් පවතී. බොහෝ දුරට උණුසුම් හා තෙතමනය  සහිත කාලගුණයක් අපේක්ෂා කරන අතර වැසි ඇති වීමට ඉඩ තිබේ. ඊයේ රාත්‍රියේදී ද පල්ලෙකැලේ ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට තරමක් තද වැසි ඇද හැලුණි.

ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලෙකැලේ හිදී 2013 වසරේ ක්‍රීඩා කළ එකම එක්දින තරගය බංග්ලාදේශය ජයගත්තේය. එක්දින පිටියේ බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ඉහළම ජයග්‍රහණ ප්‍රතිශතය පවත්වාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වුවද අවසන් එක්දින තරග 10න් 4ක් ජය ගැනීමට බංග්ලාදේශය සමත්ව සිටී.