August 25, 2023

මීගමුව සිට කළුතර දක්වා වෙරළ තීරයේ දින තුනක් වැනි කෙටි කාලයක් තුළ කැස්බෑ මළ සිරුරු 20 ක් පමණ ගොඩගසා ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, කැපුන්ගොඩ, පමුණුගම, මුතුරාජවෙල වගුරුබිම සහ ඉඳුරුව මුහුදු ප්‍රදේශවලින් මෙම කැස්බෑ සිරුරු සොයාගෙන ඇති බවයි.

මෙලෙස කැස්බෑ මළ සිරුරු රැසක් හමුවීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දිය යට ඇති වූ පිපිරීමක් හේතුවෙන් මෙම කැස්බෑවුන් මිය යන්නට ඇති බවට සැකකෙරේ.

මෙම තත්ත්වය හමුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මියගිය කැස්බෑවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා සවිස්තර වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙස දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.

මේ අතර, මියගිය සියලුම කැස්බෑවන් එකම ප්‍රමාණයේ සහ එකම විශේෂයට අයත් බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) අනාවරණය කර ඇත.

එම මුහුදු ප්‍රදේශවල ජල සාම්පල පරීක්ෂාවට ලක් කරන බව ද නාරා ආයතනය ප්‍රකාශ කරයි.